• Happiness

  • Love

  • Memories

  • Spectrum

  • Eternal Symphony

  • Colors

Recent Articles

Monday, October 17, 2022

“බද්ද කූල් කිරීම”

මම හිතන්නේ "බදු" කියන වචනය රීබ්‍රෑන්ඩ් කරන්න ඕනේ.

දැන් උදාහරණයක් විදි‍යට මම ලංකාවේ විශ්ව විද්‍යාලෙ යන කාලේ මගේ මිත්‍ර‍යෝ "රැග් එක", "නවක වදය" කියන වචන පාවිච්චි කරේ නැහැ. එයාලා වෙනුවට "තෙල ගහනවා", "වාත කරනවා" වගේ වචන තමයි පාවිච්චි කරේ. රැග් එක වගේ නෙවෙයි තෙල. ඒක සැර බාල කරපු වෙර්ශන් එකක් විදියට තමයි ඒගොල්ලො මාකට් කරේ. සමහර නවක ශිෂ්‍යාවො, "අනේ! අය්යාලාගේ තෙල හරිම ශෝයි", "මේ අපි වෙනුවෙන් නේ මේ හැමදේම එයාලා කරන්නේ" කියන තැනකට ඒක ගේන්න තරම් එයාලා දක්ෂ වුණා

ඊට පස්සේ මම දැකපු හොඳම උදාහරණෙ තමයි ලංකාවේ "මල්ටි ලෙවල් මාකටින්ග්" කරන සෙට් එක. "පිරමීඩ ජාවාරම්" කියන හරිම කැත වචනේ එයාලා බොහොම ලස්සනට, ඉන්ටර් නැශනල් බිස්නස් එකක් කරනවා. ඒකෙ පිටිපස්සෙ ඉන්නෙත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තමයි.

බදු කිව්ව ගමන් ලංකාවේ මිනිස්සුන්ට මතක් වෙන්නේ, රජ කාලේ ගොයම් කැපුවට පස්සේ ආරච්චිලා ඇවිල්ලා, උඹ දැඟලුවොත් එතනාව කුදලගෙන යනවා කියලා, තමන්ගේ මී මී මීමුත්තා බය කරලා, වී මලු උස්සගෙන ගියපු හැටි. එහමත් නැත්නම් ටොරින්ග්ටන් ආණ්ඩුකාරයා ගහපු බලු බද්ද.

ඒක වෙනස් කරන්න සුපිරි මාකටින්ග් පාරක් ඕනේ. කොටින් කිව්වොත් "බද්ද කූල් කරන්න ඕන". ඒකට මුලින් අපේ විශ්ව විද්‍යාල යාලුවො කරා වගේ "බදු" කියන වචනය වෙනස් කරන්න ඕනේ. ඉස්සර අපේ ගාල්ලේ ඉස්කෝල වල එක එක උත්සව වලට දැම්මේ ලතින්, ප්‍රංශ නම්. මේ ලෝකෙ මල හත්තිලව්වක් තේරුනේ නැති වුනාට "සෙරෙනාටා", "එස්ට්‍රෙල්ලා" එහෙම කිව්වාම මරු ගතියක් තිබ්බා. අන්න වගේ නමක් ඉස්සෙල්ලා හොයාගන්න ඕන.

උදාහරණෙකට අපි හිතමු "බද්ද=ෆිස්කලයින්", බදු ගෙවනවා ="ෆිස්කලයින් කරනවා", බදු ගෙවන්නා = "ෆිස්කලයිට්" කියලා රීබ්‍රෑන්ඩ් කරා කියලා.

ඔන්න එතකොට අලුත බැඳපු නෝනලා දෙන්නෙක් කොෆි බීන් එකේ සෙට් වෙලා, "මකියාටො" එකක් බොන අතරෙදි, මේ වගේ සංවාද ඇතිවෙන්න පුලුවන්.

"ඔයාලගේ ෆැමලි එකේ මේ අවුරුද්දෙෆිස්කලයින් පොයින්ට්ස්’ කීය ද ඩාලින්ග්?"

-"අපේ නම් පොයින්ට්ස් 50k අනේ. අපි ඉතින් ඩෙලක්ස් මෙම්බර්ස් නේ."

ලහිපිටේ මගුල් පිටුවේ, "බොදු ගොවි, අගනුවර බෞද්ධ පිරිමි පාසලක උගත්, මොරටුව ඉන්ජිනේරු උපාදිය හිමි, ‘ෆිකලයිට්’ (ප්ලැටිනම්) පුතුට... " වගේ දැන්වීම් යන්න පුලුවන්.

තරුණ කොල්ලෝ කෙල්ලෝ "ෆික්සලයින් කරලා", දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් එළියට ඇවිල්ලා, "ෆික්සලයින් ජයිව්" එක කරලා, පස්ස වනන ටික් ටොක් කරලා එවා ට්‍රෙන්ඩින්ග් වෙන්න පුලුවන්.

අන්න එතකොට තමයි සිරා අරගලයක් ලයින් වෙන්නේ!

Sunday, July 12, 2020

රැවටීම

අපේ තාත්තා, මට මතක ඇති කාලෙක ඉඳලා ම මට උගන්නලා තිබ්බේ එයා දවසක ප්ලේන් එකක නැගලා වළාකුළු වලට උඩින් වෙනත් රටකට යනවා ය, ඊට පස්සෙ හරි‍යටම මාස දෙකකින් සෙල්ලම් බඩු මහා ගොඩකුයි, ටොපි චොකලට් මහා ගොඩකුයි අරගෙන හරි‍යටම මාස දෙකකින් ආපහු එනවා ය කියලා. ඉතින් තාත්තේ ඔය ඔක්කොම දේවල් එකතු කරගන්න මාසෙකින් බැරි වෙයි ද කියලා අහපු හැම වෙලාවේ ම මාස දෙක, මාස එකහමාරකට වගේ අඩු කරගන්න එයා එකඟ වුණා. ඉතින් අන්තිමට, අවුරුදු ගාණක් එම්බසි ගානෙයි, එක එක ඒජන්සි ගානෙයි ගිහිල්ලා එයා අන්තිමට ඇත්තටම රට යන දවස ආවාම, එයා යන එක ගැන කිසිම දුකක් මට නම් තිබ්බේ නැහැ. මගේ හිතේ තිබ්බේම, තව මාස දෙකකින් මට හම්බ වෙන "බැකෝ, ටිපර්, කැටපිලර්" වලින් ගල් කොරියක් දාලා ගල් අදින්නයි, මිදුල පුරාම පස් කපන්නයි, අල්ලපු ගෙවල් වල කිසිම ළමයෙක්ට ඒ කිසිම එකක් අල්ලන්නවත් නොදී තනියම සෙල්ලම් කරන්නයි විතරයි. එක දවසක රෑ අපේ පවුලේ ඔක්කොමයි, අල්ලපු ගෙවල් වලයි, දන්න කියන හැමෝමයි වෑන් එකක නැගලා මහ රෑ එයාපෝට් ගියා තාත්තාව බස්සලා එන්න. ඒ ළඟම දවසක එයාපෝට් එකට කොටි ගහලා තිබ්බ නිසා සෑහෙන චෙක්පොයින්ට් ගානක් පහු කරනවාත්, ඒ හැම චෙක්පොයින්ට් එකකින් ම හමුදා මිනිස්සු වෑන් එක ඇතුළට ටෝච් ගහලා බලනවාත්, වෑන් එක ඇතුලේ නින්දත් නොනින්දත් අතරේ හිටපු මට මතකයි.




අපි ඔක්කෝමලා ව වෙන වෙන ම බදාගෙන ඉඹලා, පිටකොටුවෙන් ගත්තු ලොකු බෑග් දෙක රෝද කරත්තෙක තියලා තල්ලු කරගෙන, තාත්තා එයාපෝට් එකේ මහා කලබලේ ඇතුළෙ නොපෙනී ගියාට පස්සේ අපි ඔක්කොම එතනම ළඟ තිබුණු මහා විසාල සාලාවකට ගියා ප්ලේන් එක යන හැටි බලන්න. පඩි පේළි, පේළි තිබ්බ ඒ සාලාවේ බිම වාඩි වෙලා, බුදියගෙන, හිටගෙන මහ හුඟාක් මිනිස්සුත්, ළමයිත් හිටියා. ප්ලේන් නවත්තලා තියෙන හැටි, බස් වලින් මිනිස්සු ගේන හැටි, බාගෙ ලොරියක පිටිපස්සට ඉනිමගක් හයි කරලා ප්ලේන් එකට සෙට් කරලා ඒක දිගේ මිනිස්සු ප්ලේන් එකෙන් බහින හැටි ජීවිතේ පලවෙනි පාරට දැක්ක මම, දැල් ගහපු වැටේ එල්ලිලා පැය ගාණක් වශී වෙලා වගේ බලාගෙන හිටියා. තාත්තා යන්නේ මේකෙ වෙන්න ඇති, අරකේ වෙන්න ඇති කිය කියා එක එක ප්ලේන් දිහාවට ඇඟිලි දික් කර කර අපි බලන් හිටියා. ඒ හැම ප්ලේන් එකක් ම බිම දිගේ හෙමීට යන්න පටන් අරන්, ඊට පස්සේ මහා හුඟාක් වේගෙන් ගිහින්, එක පාරටම ඉස්සිලා, කුරුල්ලෙක් වගේ ටික ටික උඩ ගිහින් නොපෙනී යනකොට, හිත පිරිලා ගිය මහා පුදුමයත් එක්ක ම අම්මාගේ ඇස් වල කඳුලු තියෙනවා නේද කියලාත් මට හිතුනා. ඒත් ඒ වගේ වෙලාවක අඬන්නේ ඇයි කියලා මට නම් හිතාගන්න පුළුවන් වුණේ නැහැ. සෙල්ලම් බඩු, චොකලට් ප්ලේන් අස්සේ කඳුළු වලට කොහෙන්ද ඉඩක්? රට යනවා කියන එක කොළඹ යනවා වගේ වැඩක් කියලයි මම හිතාගෙන හිටියේ. තාත්තා කොහොමත් එක එක වැඩ වලට උදේ කෝච්චියේ ගිහිල්ලා, පිටකොටුවෙන් සෙල්ලම් බඩු අරගෙන හවසට ගෙදර එන නිසා මේකෙත් ලොකු වෙනසක් මට පෙනුනේ නැහැ. 




ඊට ගෙදර ඇවිල්ලා දවස් ගානක් ම යනකන් මම කරේ හාෆ් ශීට් කොළ බන්ඩ්ල් එකක් ඉවර වෙනකන් ම එදා දැකපු දේවල් වලින් චිත්‍ර ඇඳපු එක. එක එක විදියට ප්ලේන් වල චිත්‍ර ඇන්දේ මාස දෙකකින් තාත්තා ආවම එයාට පෙන්නන්න. ඒත් දින, සති, මාස අවුරුදු ගනන් ගෙවිලා ගියත් තාත්තා ආවේ නැහැ. ටිකෙන් ටික කාලෙ ගතවෙනකොට, එදා දවස ගැන මතක් කරන කොට මහා විසාල ප්ලේනුයි, ඒවා දැකලා ඇති වෙච්ච පුදුමෙයි අමතක වෙලා, අම්මගේ කඳුලු විතරක් මහා විසාලෙට මතකෙ ඉතිරි වෙන්න පටන් ගත්තා. චිත්‍ර අඳින එකත් මට ටිකෙන් ටික එපා වුණා. චිත්‍ර පැත්තකට දාලා ඉස්කෝලෙදි මම සංගීතෙ කරන්න පටන් ගත්තා.අන්තිමේ අවුරුදු ගාණකට පස්සේ තාත්තා එන කොට මම සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරන වයස පහු කරලා තිබ්බා. ටොපි, චොකලට් වලට තව දුරටත් ආසාවක් තිබ්බෙ නෑ. එයා ගෙනාපු කිසිම දෙයක් මම ඇල්ලුවේ නෑ. කොටින් ම තාත්තා ගැන ඒ වෙනකොට තිබ්බේ ඡායවක් වගේ මතකයක්. ප්ලේන් එකේ නැගලා ගියපු මනුස්සයයි, අවුරුදු ගාණකට පස්සේ ආපු මනුස්සයයි අතරේ ලොකු සම්බන්ධයක් මට පෙනුනේ නැහැ. ඒ අවුරුදු ගාණෙම මට දැනුන, හිස්කමයි, දුකයි එක්ක එකතු වෙලා තිබ්බ හැඟීමට කියන්නෙ "රැවටීම" කියලා ඒ වෙනකොට මම දැනගෙන හිටියේ නැහැ.




අයිශ්වරී මට හමබ්වුණේ මට අවුරුදු දහසයෙදි. එතකොට මම තාත්තා ඇතිකරලා තිබුණු හිස් අවකාශයට හුරු වෙමින් හිටියේ. ඒත් බොහොම කෙටි කාලෙකින් ම ඒ හිස් අවකාශය අ‍යිශ්වරී අල්ලා ගත්තා. ඒක තව දුරටත් හිස් අවකාශයක් වුණේ නැහැ. ජීවිතේ අවුරුදු ගාණකට පස්සේ මම අලුතෙන් ම ගොඩාක් දේවල් කරන්න පටන් ගත්තා. කැමරාවක් අරගෙන පොටෝ ගහන්න ගත්තා. දකින දකින හැම ගහක ම, මලක ම පොටෝ ගැහුවා. හවසට අපේ ගේ ඉස්සරහා වාඩි වෙලා අහස දිහා බලන් හිටියා. ලයිට් වයර් දිගේ වාඩි වෙලා හිටපු කුරුල්ලන් ගැන කවි ලිව්වා. බ්ලොග් පිරෙන්න කතා ලිව්වා. අ‍යිශ්වරීට ඇහෙන්න සින්දු කිව්වා. එයා ගැන සින්දු ලිව්වා. ඒ කාලේ මම හිතාහෙන හිටියේ වාරිමාර්ග ඉන්ජිනේරුවෙක් වෙලා, ඈත පිටිසර පළාතකට ගිහිල්ලා ජීවත් වෙන්න. අයිශ්වරී ඒ පළාතෙ ගමේ ඉස්කොලේ උගන්නනවා කිව්වා. ලෝකෙ හැම තරුණ ආදර කතාවක තියෙන ඔක්කොම දේවල් අපේ කතාවෙත් තිබ්බා. ඉස්සර ටියුෂන් පන්ති ගිහිල්ලා, අපි සමහර දවසට ගාල්ලෙන් ඉරිදා  හවසට කොළඹ එන කෝච්චියේ නැගලා ගෙදර ආවා. ඒ කෝච්චියේම දවසක ලොකු බෑග් මලු දෙකක් දාගෙන, කැම්පස් ටී ෂර්ට් ඇඳගෙන කොළඹට කැම්පස් යන්න අපි පොරොන්දු වෙලා හිටියේ.  ඒත් බොහොම ටික කාලෙකදි ගොඩාක් දේවල් වෙනස් වුණා. ඇයිශ්වරී ඒ කෝච්චියේම වෙන අතක් අල්ලාගෙන යන්න පටන් ගත්තා. ජීවිතේ දෙවෙනි පාරට දැනෙන්න පටන් ගත්ත හිස් කමයි, දුකයි, ආත්ම ලැජ්ජාවයි එකතු වුණු අර මුස්පේන්තු හැඟීමට කියන්නේ "රැවටීම" කියලා මම ඒ වෙනකොට දැනගෙන හිටියා. මගේ කැමරාව මම පෙට්ටියක දාලා වහලා තිබ්බා. ලියන්න ඕන කියලා දාහක් දේවල් ඔලුවට ආවත් ඒ සිතුවිලි කොළවල ලියනවාට වඩා පෙනහලු වල දුම් පුරවලා පුච්චලා දාන එකෙන් ලොකු සැනසීමක් දැනෙනවා කියලා හිතුනා. පෙට්ටියක දාලා වහලාවත්, දුම් වලින් පුච්චලාවත් සිත එක තැනක තියගන්න බැරි වුණ නිසා මම ඔක්කෝම අත ඇරලා තාත්තා වගේම ම ප්ලේන් එකක නැගලා යුරෝපෙට ගියා. ඊට අවුරුදු ගාණකට කලින් තාත්තාත් කරේ මම වගේම පැනලා යාමක් ද කියලා මට ෆ්ලයිට් එකේ දි හිතුනා. කලින් වගේ ම අපේ අම්මාගේ ඇස් වල කඳුලු තිබුණා මට මතකයි. ඒත් කලින් පාර වගේම ඒ කඳුලු වලට ඒ වෙලාවේ මගේ හිතේ තිබුණේ අඩු ඉඩක්.



මම යුරෝපේට ඇවිත් ටික කාලෙකින් ම ලංකාවේ දේශපාලනේ පෙරලියක් වෙන්න පටන් ගත්තා. අවුරුදු දහයක් තිබ්බ දූශිත ආණ්ඩුව පන්නන්න දන්න කියන ඔක්කොම එකතු වෙන්න පටන් ගත්තා. ලංකාවේ පළවෙනි පාරට සෝශල් මීඩියා වලින් කැම්පේන් කරන්න පටන් ගත්ත නිසා මමත් අවුරුදු ගානක් බ්ලොග් ලියලා ගතපු අත්දැකීම් වලින් එක්තරා අපේක්ෂකයෙක් දිනවන්න වැඩ කරන්න පටන් ගත්තා. දේශපාලන පක්ශෙක යුරෝපා ශාඛාවකට බැඳිලා ඡන්දේට බැහැලා ම වැඩ කරා. පරණ ආන්ඩුවේ දූෂණ ගැනයි, අලුත් ආණ්ඩුව තවත් සිංගප්පූරුවක් හදන හැටි‍යි ගැන මම වෙබ් පිටු වලටයි, පත්තර වලටයි ලිව්වා. ලංකාවෙන් පිට හිටපු නිසා කිසිම බයක් නැතුව විවේචන ලියන්න මට පුලුවන් වුණා. චන්දේට පස්සේ දවසේ අපේ අපේක්ෂකයා දිනපු නිසා ඉක්මණටම ටිකට් එකක් බුක් කරගෙන මම ලංකාවට ගියා. මම ලංකාවට ගියපු දවසෙත් අම්මාගේ ඇස්වල කඳුලු තිබුණා. ඒත් පුරුදු විදියටම ඒ කඳුලු තේරුම් ගන්න මට පුලුවන් වුණේ නැහැ. අලුත් ආණ්ඩුවේන් හදන ඇලුත් රටේ කොටස් කාරයෙක් වෙන්න මටත් ඕන වුණ නිසා මම ලංකාවේ විශ්ව විද්‍යාලෙට ඇතුල් වුණා. ඒත් ටික දවසකින් ම මම ආයෙත් රැවටුණු බව මට තේරෙන්න පටන් ගත්තා. දූෂණ‍යට විරුද්දව බල‍යට ආපු මිනිස්සු, ඒ වගේම දූෂණ කරන්න පටන් ගත්තා. ඡන්ද පොරොන්දු එකින් එක බිඳ වැටෙන්න පටන් ගත්තා. පරණ හොරු අලුත් ආණ්ඩුවටත් ආවා. ආණ්ඩුව හදන්න මහන්සි වුණ, ඇත්ත වෙනසක් බලාපොරොත්තු වුණ මිනිස්සුන් ව ටිකෙන් ටික එලියට විසි වෙන්න පටන් ගත්තා. අර පරණ මුස්පේන්තු හැඟීම මට හොඬට දැනෙන්න ගත්තා. මේ අතරේ අපි බලයට ගෙනාපු ජනාධිපතිවරයා, ව්‍යවස්ථා කුමණ්ත්‍රණයක් කරලා අපි පරාද කරපු මිනිස්සුන්ව ආපහු බල‍යට ගෙනාවා. මේ සිද්ධිය අතරේ, පහු ගිය ආණ්ඩුවේ දූෂණ ගැන පරීක්ෂණ කරමින් හිටපු මගේ මිත්‍රයන් බොහොමයක් ප්‍රශ්ණ කිරීම් වලට ලක් වුණා. මුලු රටේම මිනිස්සු ජාතිවාදෙන් අන්ධවෙලා මහා භයානක දිහාවකට රට යන්න පටන් ගත්තා. ආපහු සැරයක් ප්ලේන් එකක නැගලා යුරෝපෙට යනවා හැර වෙන කරන්න දෙයක් මට හිතාගන්න පුලුවන් වුණේ නැහැ. මේ වෙනකොට අම්මා මේ ලෝකෙ හැරදාලා ගිහිල්ලා තිබුණු නිසා අම්මාගේ කඳුලු වල ගැබ් වෙලා තිබ්බ හැඟීම් මට හොඳටම දැනෙන්න පටන් අරන් තිබ්බේ. ජීවිතේ පහු ගිය සිද්දියි, අම්මගේ කඳුලුයි අතරේ සම්බන්ධේ තේරුම් ගන්න තරම් මම මුහුකුරා ගිහින් තිබුණා. ඒත් මට ඒක තේරුණු බව දකින්න අම්මා නොහිටපු එක මහා විශාල පසුතැවිල්ලක් ඉතිරි කරා.



අම්මගේ කඳුලු වල ගැබ් වෙලා තිබ්බේ අපේ ජීවිත මැද්දෙන් හමා ගියපු කුණාටු සම්බන්ධයෙන් මොනයම්ම ආකාරයක වෛරයක් නොවන බවත් මම තේරුම් ගත්තා. අයිෂ්වරීගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ ඊට කෙටි කාලෙකට පස්සේ. බොහොම කාලෙකට කලින්  උපන් දිනේකට මම දුන්න අපේ ගෙදර වැවුණ මලක රාමු කරපු පින්තූරයක් තවමත් ඇය ළඟ තිබෙන බව ඈ මට කිව්වේ ඇයට සුභ පතන්න දුරකථනයෙන් කතා කරපු වෙලාවේ. තාත්තා අසනීප වෙලා, රෝහල් ගත කරලා ඉන්නවා කියලා දැනගත්තා ම මම එයාව බලන්න ලිලී මල් පොකුරක් අරගෙන ඉස්පිරිතාලෙට බලන්න ගියා. ජීවිතේ එක එක අවස්ථා වලදි මිනිස්සු ගන්නේ තමන්ගේ හදවතට දැනෙන විදියට හොඳම තීරණ කියල මම ඒ වෙනකොට අවබෝධ කරගෙන හිටියේ.  ලංකාවේ අලුත් ඡන්දයක් තිබිලා, අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙලා, ඒත් එක්ක ම ඇති වුණ රැල්ලකින් කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා තාප්ප වල චිත්‍ර අඳින බව මම දැක්කේ අන්තර්ජාලයෙන්. ඒ කොල්ලො කෙල්ලෝ මගේ ජීවිතේ එක් එක් කාලවකවානු වලදි හිටපු අස්වින්දලා සිය ගණනකගේ එකතුවක් විදියට මම දැක්කා.  

Sunday, September 22, 2019

"සංවාදය"



මම උදේ දහයයි කාලට මරදානෙන් මාතරට යන "රජරට රැජිණ" කෝච්චියට, සති දෙකකට සැරයක් වගේ එන සෙනසුරාදාවල් වල, හික්කඩුවට යන්න ගොඩ වෙනවා. සති අන්තේ නිසා ගෙවල් වල යන මිනිස්සු වගේම, විශාල ගමන් මලුත් එක්ක විදේශිකයින්ගෙනුත් කොච්චි‍ය සාමාන්‍යෙන් පිරිලා තියෙනවා. ඒ වගේම අතරින් පතර සති අන්තෙට ගෙදර යන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවොත් කිහිප දෙනෙක් හැමදාම කෝච්චියේ ඉන්නවා. කැම්පස් එකේ නම තියෙන ටීෂර්ට් එකක් ඇඳලා, බාටා දෙකක් දාලා, කොන්ඩේ උඩට කරලා බැඳලා, ලැප්ටොප් බෑග් එකක් අතේ තියන් ඉන්න නිසා ඒ අය දුර තියලා ම මට නෝට් වෙනවා. මෙන්න මේ වගේ එක්තරා සෙනසුරාදාවක මීට කලින් දැකලා නැති "විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්" කෝච්චියේ ඉන්නවා කියලා මට පේනවා. එයාගෙ දිගැටි නහයත්, සිහින් ඇස් දෙකත්, කෝච්චියේ ජනේලෙන් එළිය බලාගෙන ඉන්න මට, අතරින් පතර පෙනිලා නොපෙනිලා යන මුහුදේ සුදු පෙණ රැලි වගේ  මැවිලා පෙනෙන්න ගත්තාට පස්සේ, ගිහිල්ලා කතා කරනවා ද, නැද්ද කියන සිතිවිලි දෙකෙන් පලවෙනි එක ඉස්සර වෙනවා. මම හෙමින් සීරුවේ ඇගේ ළඟට කිට්ටු වෙලා, ඈත් එක්ක සාංවාදයක් පටන් ගන්නවා. හැම කතාවකම වගේ මුල් මිනිත්තු කිහිපය බොහොම සිනාමුසු මුහුණින් ආ ගිය තොරතුරු, විශ්ව විද්‍යාලෙ විස්තර වලට වෙන් වෙනවා. ඒත් මේ වර්ගයේ හැම සංවාදෙකම ඈ කොතනක හරි මගෙන් මෙහෙම අහනවා. "ආනේ! ඔයාගේ නම අස්වින්ද ද? හොඳට අහලා පුරුදු නමක් නේ. ඔයා ඉස්සර ඒ ලෙවල් කාලේ අපේ ඉස්කෝලේ "තරුෂි" කියලා ගර්ල් කෙනෙක් එක්ක යාලු වෙලා හිටියා නේ ද? මට මතකයි යාලුවෝ ඉස්සර ඔයා ගැන කතා වෙනවා. ඔයා අර කොහෙදි හරි සින්දුවක් කිව්වා නේද?.."



මම ටින්ඩර් පාවිච්චි කරනවා. ඉඳලා හිටලා මට කෙල්ලෙක් මැච් වෙනවා. ඒ මැචස් අතරිනුත් චැට් කරන්නේ කිහිප දෙනෙක් විතරයි. ඔය සමහර චැට් සමහර වෙලාවට "ලෙට්ස් හෑව් අ කොෆී ඇන්ඩ් ටෝක්" කියන තැනකට යනවා. ඉතින් සමහර හවස් වරු වල මම කොළඹ නගරේ තියෙන "කොෆී බීන්", "ඒ කැෆේ","බරිස්තා" වගේ කෝපි හලක දෙදෙනෙකුට වාඩි වෙන්න පුලුවන් කුඩා මේසෙක, කපුචිනෝ කෝප්පයක් ඇනවුම් කරලා පොතක පිටු කිහිපයක් පෙරළමින් "ටින්ඩර් ඩේට්" එක එනකන් බලන් ඉන්නවා. කපුචිනෝ කොප්පේන් බාග‍යක් හිස් වෙනකොට, විනාඩි කිහිපයක් පරක්කු වුණු ඇයත් එක්ක, කොළඹ නගරේ ජීවිතයත්, බටහිර රටක ගෙවන ජීවිතයත් සන්සන්දනය කරන සංවාදෙක යෙදිලා ඉන්නවා. කොළඹ නගරෙ ටින්ඩර් යූස් කරන බොහොමයක් දෙනා විදේශ රටක ජීවත් වෙන, නිවාඩුවට ලංකාවට එන දුඹුරු කෙල්ලන් නිසා මේ මාතෘකාව බොහොමයක් වෙලා ඇදිලා යනවා. චිත්‍රපටි, මාලා නාටක, විවිධ සංගීත වර්ග වගේ මාතෘකා කිහිපකෙට පස්සේ අපි අපේ යාලුවෝ ගැන කතා කරන්න ගන්නවා. කොළඹ කෙල්ලෙක් "ටින්ඩර් ඩේට්" එකක් එන්න කල්න් හොඳ බැක්ග්‍රවුඩ් රිසර්ච් එකක් කරන බව දන්නා නිසා, එයා ඒ ප්‍රශ්නේ කොයි මොහොතක හරි අහන බව මගේ හිත කියනවා. කෝපි කෝප්පේ ඉවර වෙන්න කලින් ඈ මෙහෙම අහනවා.  "So, are you still dating the Musaeite"? 



"මිලානෝ ආස්සාගෝ ෆෝරම්" දුම්රිය පොළට උදේ අටයි හතලිස් දෙකට ළඟා වෙන දුම් රියෙන්, හැමදාම මම වගේ ම, ඇයත් එනවා. දුම්රිය පොළ, ළඟ තියෙන  බස් නැවතුමෙන්, උදේ අටයි පනහට පිටත් වෙන, අංක තුන්සිය විසිඅට බස් එක එනකන් ඈ එහා මෙහා ඇවිද ඇවිද ඉන්නවා දුම්වැටියකුත් පත්තු කරගෙන මම බලං ඉන්නවා. අටයි පනස් හත වෙන කොට, "වියා මුචිනේසියෝ" නැවතුමෙන් 328 බස් එකෙන් බැහැලා මම ඔෆිස් එකට දුවනවා.  ඇයත්, මාත් එක්කම බස් එකෙන් බැහැලා එකම වීදියේ අනික් දිශාවේ තියෙන ඇගේ කාර්යාලෙට ඇවිදගෙන යනවා. මම ආපහු දවල් එකහමාරට විතර, කෑම වෙලාවට ළඟ තියෙන "පිසේරියා" එකකින් පීසා කෑල්ලක් කාලා තවත් වෙලාව ඉතිරි නිසා ඒ ළඟම තියෙන කුඩා උද්‍යානෙට යනවා. ඒ වෙනකොට ඈ පොතක් කියවමින්, බංකුවක වාඩි වෙලා ඉන්නවා. මම දුම් වැටියක් පත්තු කරගෙන ඊට ටිකක් එහාට වෙන්න තියෙන බංකුවක වාඩි වෙලා, එදා දවසෙ "කොරේරෙ දෙල්ලා සේරා" පත්තරේ කියවන්න ගන්නවා. කවදාවත් පටන් ගත්තේ නැති සංවාදයක්, මොනම විදියකටවත් ඉවර වෙන්න බැරි බව, මම හිතින් හිතනවා.

Sunday, July 21, 2019

මගේ විඩාව


මට ඇය ව මුණගැහුනෙ හරියටම අවුරුදු තුනකට පස්සේ. ඇගෙන් අවසාන වතාවට සමුගත්තු ලොරේතො දුම්රිය පොළේ බංකුවක මම ඇය එනතුරු වාඩි වෙලා හිටියා. ඒ වෙනකොට හවස වැඩ ඉවර වෙලා ගෙදර යන මිනිස්සු බහුතරයක් ගෙවල් වලට ගිහිල්ලා තිබුණු නිසා දුඹුරු පාට කෝට් එකක් ඇඳුපු වයසක මහත්මයෙක් විතරක් මට අඩි කිහිපයක් එහායින් දුම්රිය වේදිකාවේ ඒ මේ අත පරිස්සමින් අඩි තියමින් සක්මන් කරා. පහුගිය කාලෙ පුරාවටම මමත් කරේ බිම ඇදගෙන වැටෙනවාට බයෙන් පරිස්සමෙන් අඩි තියමින්, කිසිම අරමුණක් නැතුව ඇවිදපු එක කියලා මට කල්පනා වුණා. මුළු දුම්රිය වේදිකාව පුරාම සක්මන් කළත්, වයසක මහත්මයාට මේ වේදිකාවෙන් ම දුම් රියට ගොඩ වෙන්න සිද්ධවෙනවා වගේ ම මුලු ලෝකෙ පුරාම ඉබා ගාතේ ඇවිද්දත්, මමත් අන්තිමට ඇවිල්ලා නතර වෙලා තිබුණේ පටන් ගත්ත තැනමයි. 



අපේ අම්මා කියපු විදියට ඔලුවේ රාහු හිටපු නිසා දෝ කොහෙද, අවුරුදු තුන පුරාවට ම මම කිසිම අරමුණක් නැතුව එහේ මෙහේ ඇවිද්දා. කොළඹ නගරේ, මාර ගස් වලින් සෙවණ වෙලා තියෙන පාරවල් දිගේ ඔහේ ඇවිදගෙන ගියා. බර අඩි තියලා, උජාරුවෙන් ඇවිදින නෝනලාව බිම බලාගෙන පහු කරා. මත්පැන් වඩි කිහිපයකට පස්සේ දෙහිවල වෙරලෙ බිම් තඹරු වැල් උඩ හාන්සි වෙලා මළානික අහසෙ තරු දිහා බලන් හිටියා. ඒ වෙලාවෙ මුහුදෙ රැළ බිඳෙන සද්දෙවත්, සැර හුළඟට ගොඩ බිම පැත්තට නැවිලා තියෙන පොල් ගස් වල අතු සර සර ගාන සද්දෙවත් මට ඇහුනෙ නැත්තේ ඒ වෙලාවෙත් මම හිතෙන් ඒ තරු අතරෙ ඇවිද ඇවිද හිටපු නිසා. 

මේ අවුරුදු තුනට කලිනුත් මගේ ජීවිතේ වැඩි කාලයක් ගත වුණේ, කිසිම අරමුණක් නැතුව එහේ මෙහේ ඇවිදින්න තමයි කියන එක මට කල්පනා වුණත්, ඒ අතරින් ම, ඒ ඇවිදිල්ලයි, මේ ඇවිදිල්ලයි අතරේ ලොකු වෙනසක් තිබුණ බව මම දැනගෙන හිටියා. ඉස්සර කාලේ, ඇවිදලා ඇවිදලා හති වැටුණා ම මම සයිකලයක් පැදගෙන හරි, කෝච්චියක නැගලා හරි, ගුවන් යානෙක නැගලා හරි හික්කඩුවට ගියා. ඒත් මේ අවුරුදු තුන ඇතුළෙ දි කොච්චරවත් බම්බලපිටියේ ඉස්ටේෂමෙන් ගාල්ල පැත්තට යන කෝච්චි පිටත් වුණත්, ඒ එකකට වත් කාලය හරහා ගමන් කරලා "මගේ හික්කඩුවට" මාව අරන් යන්න බැරි බව දැනගෙන හිටපු නිසා මම ඒ මහන්සිය පපුව ඇතුලෙම පුච්චලා දැම්මා. ඒ පිච්චිච්ච දුම මගේ නාස් පුඩු වලින් එළියට ඇවිල්ලා, අහසේ අලුපාට වළාකුළු අතරේ නොපෙනී ගියා. ඒක නිසා මගේ ඇවිදිල්ලෙන් ඇඟට දැනෙන මහන්සියක් මගේ ළඟ ඉතිරි වුණේ නැහැ.



මම කල්පනා කර කර ඉන්න අතරේම, හෙමින් ගමනින් ආපු දුම්රියක්, ලොරේතො දුම් රිය පොළේ නතර වුණා. වයසක මහත්තයා පරිස්සම් අඩියෙන් දුම් රියයි, වේදිකාවයි අතරේ තියෙන පඩිය නැගලා දුම් රියට ගොඩ වුනා. මම හිටපු බංකුවට ඈතින් දුම් රියේ අනික් කෙළවරින් මම අවුරුදු තුනක් බලං ඉඳපු රුව මතු වුණා. දුම් රිය මැදිරි කවුලුවේ වීදුරුවෙන් මට මගේ ඡායාව පෙනෙන්න ගත්තා. මගේ ඇස් ටිකක් යටට ගිලිලා ඇස් යට අඳුරු පැහැයට හැරිල තිබුණා. මුහුණේ ඉරි ඇඳිලා, විඩාබර පෙනුමක් තිබුණා. ඇස් වල මළානික පෙනුමක් එක්ක, රතට හුරු අඳුරක් තිබුණා. අවුරුදු තුනක් තිස්සේ මට නොදැනුන මහන්සිය, මට එකපාරට ම දැනෙන්න පටන් ගත්තා.   

Tuesday, January 22, 2019

"ගල් හදවත"


මම විශ්ව විද්‍යාලේ කැන්ටිමේ හැමදාම හවසට තැඹිලි පාට පුටුවක වාඩි වෙලා, බොහොම පොඩි විනිවිද පේන වීදුරු මග් එකක දෙන සීනි වැඩි ප්ලේන්ටිය බොන අතරේ හැම තත්පර දහයකට ම සැර‍යක්, මහා නුග ගහ නිසා වංගු ගැහුනු පාරේ කෙළවර දිහා බැලුවා. හවසට ලෙක්චර්ස් ඉවර වෙලා,බස් එක, කෝච්චිය අල්ල ගන්න ඉක්මන් ගමනින් යන සිය ගණනක් මුහුණු අතරේ සමහර දවස් වලට විතරක් මම දකින්න බලාපොරොත්තු වුණ දේ දකින්න පුලුවන් වුණා. හරියට පීරුවේ නැති, පොකුටු කොණ්ඩේ පොඩි පෝනි ටේල් එකක් බැඳලා, ලොකු කොටු තියෙන, අත් වැලිමිට ළඟට වෙනකන් නවපු, අත් දිග චෙක් ශර්ට් එකක් ඇඳලා, ලැප්ටොප් බෑග් එකක් පැත්තකින් එල්ලාගෙන, තමන්ගේ පෙම්වතාගේ අතේ එල්ලිලා, තොරතෝන්චියක් නැතුව හිනා වෙවී, කතා කරමින් යන ඈ, සමහර දවස් වලට විතරක් නුග ගහ ළඟ වංගුවෙන් මතු වුණා. හරියට පීරුවේ නැති, පොකුටු කොණ්ඩේ පොඩි පෝනි ටේල් එකක් බැඳලා, ලොකු කොටු තියෙන, අත් වැලිමිට ළඟට වෙනකන් නවපු, අත් දිග චෙක් ශර්ට් එකක් ඇඳලා, ලැප්ටොප් බෑග් එකක් පැත්තකින් එල්ලාගෙන, තමන්ගේ පෙම්වතාගේ අතේ එල්ලිලා, තොරතෝන්චියක් නැතුව හිනා වෙවී, කතා කරමින් යන ඈ, සමහර දවස් වලට විතරක් නුග ගහ ළඟ වංගුවෙන් මතු වුණා. "අද අපේ ඉස්කෝලෙට දේශනයක් කරන්න විශ්ව විද්‍යාලෙන් සර් කෙනෙක් ආවා. ඉස්සර නම් විශ්ව විද්‍යාලේ ගොඩාක් ජෝඩු එහේ මෙහා යනවා, ඒත් දැන් නම් එච්චර දකින්න නැහැ. දැන් ඒ ළමයි තමන්ගේ ගම් වලින් ම කවුරු හරි හොයා ගෙන ඇති. ඒක අහලා මට හරියට දුක හිතුනා, මට කැම්පස් යන්න බැරි වෙයි කියලා." ඊට අවුරුදු නවයකට කලින්, කොණ්ඩේ පෝනිටේල් එකක් බඳින්න තරම් වැවිලා නැති කාලේ ඈ මට කියපු හැටි, වීදුරු මග් එකේ පතුලෙ ඉතිරි වෙච්ච දිය නොවුනු සීනි කැට දිහා බලාගෙන මම කල්පනා කරා.



මරදානෙන් පහයි පනස් පහට මාතර යන කෝච්චිය, ගොඩාක් ස්ටේෂන් වල නවත්වන නිසාත්, ඒ හැම ස්ටේෂන් එකකින් ම ඔෆිස් ඇරිලා ගෙදර යන මිනිස්සු පොදියක් බහින නිසාත්, හික්කඩුවට යනකොට ගොඩාක් දවස් වලට නවයට කිට්ටු වෙනවා. ඒකෙ ගිහිල්ලා, හික්කඩුවේ හන්දියෙන් ත්‍රී වීලරයකුත් කතා කරගෙන අවුරුදු දහයකට විතර කලින්, නගර සභාවෙන් කොමිස් ගහලා සිමෙන්ති අඩුවෙන් දාලා කොන්ක්‍රීට් කරපු, දැන් වළගොඩැලි පිරිලා තියේන අපේ පාරේ ගිහිල්ලා ගෙදර ළඟින් බහින්න තවත් පැය බාගයක් විතර යනවා. "ගෙදර වහලා තියෙන නිසා හරියට දූවිලි ඇති නේ ද මල්ලි?" ත්‍රීවීල් අය්යා හැමදාමත් අහනවා. අමාරුවෙන් බෑග් එක ඇතුළට අත දාලා, යතුර හොයාගෙන පැත්තට තල්ලු කරන ගේට්ටුව අරිනකොට, ගේ ඉස්සරහ ලයිට් කණුවේ, ලයිට් එකේ මළාණික එළියෙන් මුලු වැරැන්ඩාව පුරා ම වියළි කොළ විසිරිලා තියෙන හැටිත්, මිදුළේ දණහිස තරම් උසට වල් පැළ වැවිලා තියෙන හැටිත් පේන්න ගන්නවා. කාලා, නාලා තවත් පැයකට විතර පස්සේ "මාර්ල්බොරෝ ලයිට්" පැක් එකකුයි, ඈෂ් ට්‍රේ එකට හිස් පොල්කට්ටකුයි හොයාගෙන, ලයිට් ඔක්කොම ඕෆ් කරලා දොරකඩ පඩියෙන් මම වාඩි වෙනවා. ඒ වෙලාවට නිදි ගැට කඩලා පුංචි පූස් මගේ ළඟට ඇවිල්ලා කකුලේ දැවටෙන්න ගන්නවා. අපේ අම්මා නම දාපු පුංචි පූස් බොහෝම කාලෙකට ඉස්සර නැති වුණු බවත්, මේ ඉන්නේ ඒ පුංචි පූස් ගේ මුණුබුරෙක් හරි, මීමුණුබුරෙක් හරි බවත් අමතක කරලා මම ඌට පුංචි පූස් කියලා කතා කරනවා.



මහා සිතාර් වාදක රවි ශංකර් ගේ දුව, අනුශ්කා ශංකර් ගේ "Traces of you" ඇල්බමයේ "මොන්සූන්" සංගීත ඛණ්ඩය මම මුල් ම පාරට ඇහුවේ වියානා නගරේ "නො‍යිශ්ටිෆ්ට්ගස වීදියේ" "නට්රාජ්" ඉන්දියානු අවන්හලේ උස වීදුරු ජනේලයක් අයිනේ වාඩි වෙලා චිකන් ටික්කා මසාලා හොදි වල තවරා ගෙන නාන් රොටි කන අතරෙදි. දහදියෙන් හෙම්බත් වෙලා ඉන්න මුම්බායි නගරයට මෝසම් වරුසාව ආරම්භ කරමින්, හුළඟට විසි වෙන වැහි පොද වැටෙන්න පටන් ගන්න හැටි අනුෂ්කාගේ සිතාර් තත් වල හඬ අතරින් මට හරියටම දැනුනා. හරියට මෝසම් වැස්ස ඒ ජූලි මාසේ වියානා නගරෙට ආවා වගේ. දෙවෙනි පාරට "මොන්සූන්" ඇහෙනකොට මම හිටියේ දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළේ, මගේ ගුවන් යානය පරක්කු වෙච්චි නිසා එහාට මෙහාට ඇවිදිමින්, නිදිමත නැති කරගන්න උත්සාහ කරමින්. නම නොදන්නා දිල්ලියේ ගුවන්විදුලි නාළිකාවක සංගීත වැඩසටහනක, මම නොදන්නා සිතාර් වදකයෙක් වාදනය කරපු නිසා දෝ වියානාවේ දී වගේ පළවෙනි මෝසම් වරුසාවේ වැහිබිඳු වැටෙන විදිය මගේ අත් වලට දැනුනේ නෑ.  "අස්වින්ද, ඔයාට තියෙන්නේ ගල් හදවතක්, ඒකට කිසිම හැඟීමක් දැනෙන්නේ නෑ." මට එවපු අන්තිම කෙටි පණිවිඩයේ ඈ එහෙම ලියා තිබුණා.

Categories