Sunday, November 11, 2012

:ඩී [ :D ]

"ඔවුහු ඔබෙ සන්තාපය විනිවිද ගොස්, ඔබ්ව මුළුමණින් ම නිශ්චලතාවයට පත් කරති.. ස්මාරක අතර හිඳගෙන."
   -ඩෑන් ෆොන්ල්බර්ග්



"උණුසුම් සිරුරු
අන්ධකාරයේ
එක්ව දිලිසෙයි
දෑත්, මාoශයේ මධ්‍ය ලක්ෂය තෙක්
ගමන් කරයි,
සම ප්‍රීතියෙන් වෙවුලයි
ආත්මය ප්‍රමෝදයෙන් ඉපිළ
ඇස තුළට පැමිණෙයි."
       -ඇලන් ගින්ස්බර්ග්


"අපි එකට ඉමු. අපේ හුදකලා හදවත් ලාම්පු එළියට යටින් නිරාවරණය කොට, දුම් රිය අන්ධකාරය තුලින් ඉදිරියට ඇදෙයි.
කාලය නමැති රාමුව පාලනය කිරීමට දෙවියන් විසින් නිර්මාණය කරන ලද එක ම ක්‍රමවේදය එය පමණි."
     -ටෝරි ඒමස්


'යතුර ඉර එළිය වැටුනු ජනෙල් පඩිය උඩ, මා ළඟ ඒ යතුර තියෙනවා, එයිලීන්, අපි කසාද බඳිමු!
ඔච්චර සැර වෙන්න එපා,
යතුර ඉර එළිය වැටුනු ජනෙල් පඩිය උඩ!'
 -ඇලන් ගින්ස්බර්ග්


ඇති! දැන් හොඳටම ඇති. යතුර කෝ? මo කෝ? මට මොනවා වෙලා ද මේ?

"අහෝ දෙවියනි, මගේ යාච්ඤාවට කරුණාවෙන් සවන් දෙනු මැනවි"

"මට මේ මොකවත් එපා යකෝ. මොකුත් ම එපා. මට ඕන හිස්කම. මෙලෝ හත්තිලව්වක් නැතිකම. එවරස්ට් කන්ද තරම් උස බලාපොරොත්තු කඳු, තරු කැට අතරෙ ගෑවි ගෑවි යන හීන මට එපා. මට මාවත් එපා. මට මොකවත් එපා. මට ඉතිරි එකම දේ, තාමත් ගැහෙන මේ හදවත, ඒකත් ගන්න. ඇයි ඒක විතරක් තාම මට දීල තියෙන්නෙ. කරුණාබර දෙව්පියාණෙනි, මාගේ යාච්ඤාවට සවන් දෙනු මැනව!"



උඹලා දන්නව ද? මo මේ බලන් ඉන්නවා. ඇස් රිදෙනකන්, කකුල් කඩෙත්තුව හැදෙනකන්, කොඳු ඇට පේලිය දිගට හීතලක් ඇවිත් මගේ ආත්මය හිරිවට්ටලා යද්දිත් මo බලන් ඉන්නවා. බලන් ඉඳලා එපා වුනා ම ආයෙත් බලන් ඉන්න ගන්නවා. උඹලා දන්නව ද කවුරු එනකන් ද කියලා? :ඩී ගෙස් කොරපල්ලකො බලන්න. හිහී හිහී හහ් හහ් කෝ බෑ නේ.

සැමුවෙල් බෙකට් ගෝඩෝ එනකන් බලන් ඉන්නවා. එතකොට බාරෙ, ඌ සකුනි එනකන් තාම බස් ස්ටෑන්ඩ් එකේ බලන් ඉන්නවා. එතකොට අයිෂ්වරී, ඒකි මෙඩිසින් සිලෙක්ට් වෙනකන් බලන් ඉන්නවා. හඳ පායනකන්, ඉර බැහැලා යනකන්, හිම දිය වෙනකන්, රොබරෝසියා මල් පිපිලා පරවෙලා යනකන්, ඈෂ් ට්‍රේ එකේ සිගරට් කොට පිරෙනකන්, ඩ්‍රාමා එක පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකන් අපි බලන් ඉන්නවා.

හොව්! හෝව්!! ඔන්න ආවා නියම තැනට. "ලෝකය රඟ මඬලකි. අපි එහි නළුවෝ වෙමු" ශේක්ස්පියර් කියලා තට්ටෙ තියෙන ප්ලේරයිට් කෙනෙක් ඔන්න ඔය වගේ කතාවක් කිව්වැයි කියලා අපි හැමෝම අහලා තියෙනවා නෙ. ඉතින් මම, උඹ, අපි ඔක්කොම අපේ ජීවිත රoගනේ ඉවර වෙනකන් බලන් ඉන්නවා. දැන් මට ඇති මේ විකාර රඟපෑම. උඹලාට තව තවත් මේ වට රඟ මඬල මැද්දෑවට වෙලා අන්තිම පේලිය විසිල් ගගහා හුරේ දානකන් ගොන් පාන්න ඕන ඇති. මට නම් දැන් ඇති. ඉතිරි ටික ඉක්මණට ෆාස්ට් ප්ලේ දාල ඉවර කරලා තිරේ වහගන්නයි මට ඕන.

උඹ කවදාහරි දවසක තියටර් එකකට ගිහින් ෂෝ ඉවර වෙලා, ලයිට් දාල, දොරවල් ඇරල, මිනිස්සු පිට වෙලා යද්දි පුටුවෙම වාඩි වෙලා ඉඳල තියෙනවද? චිත්‍රපටිය ඉවර උනාම ඇහෙන්නෙ පුටුපෙරලෙන සද්ද, උගුර පාදන හඬවල්, එක එක විදියෙ අඩි සද්ද විතරයි. ඒකෙත් මහ අමුතුම විදියෙ ත්‍රිල් එකක් තියෙනවා. හරියට රැවුල කපන කණ්ණාඩියක් ඉස්සරහ නිරුවත් උනා වගේ. එතනදි එන්නෙත් මේ වගේ ම දෙකයි පනහෙ ෆීලින්ග් එකක්. මo මෙච්චර මේ කියවන්නෙ මo ඉන්න මූඩ් එක උඹට තේරුම් කරන්න.



දවසක් අයිෂ්වරී මට කිව්ව, "යතාර්ථය දකින ඇස් හතරකට මායාව වැඩක් නෑ" කියලා. ඒත් ඒ වෙලාවෙ මායවයි, යතාර්ථයයි වෙන් කරල අඳුරගන්න බැරි තරමට අපි දෙන්නම මත් වෙලා හිටියෙ. ආදරෙන්, නෑ එහෙම ම කියන්න අමාරුයි. එතන රාගයත් ගෑවිලා තිබ්බා. දැනුත් මම මත් වෙලා. ඒත් එදායි, අදයි අතරෙ ලොකුම ලොකු වෙනසක් තියෙනවා. හීතලෙන් ගල් වෙච්ච මගේ ආත්මෙ උණුසුම් කරන්න ඈ මෙතන නෑ. අනිත් එක මම මත් වෙලා ඉන්නෙ ආදරෙන් වත්, රාගෙන් වත් නෙවෙයි. අකුරු කරන්න බැරි මහ අමුතුම විදියෙ හැඟීම් කෝටියකින්.

ම0 අවුරුදු දහයෙදි කවදාවත් හිතුවෙ නෑ තව අවුරුදු දහයකින් මගේ ජීවිතේ මේ විදියට අඩ සිහියෙන්, සිරින්ජරයක් අතේ ගුලි කරගෙන හිස් බ්ලොග් පිටුවක වචන ටිකක් කුරුටු ගාලා ඉවර කරන්න වෙයි කියලා. ඒත් උඩ ඉන්න එක්කෙනා අපේ ජීවිත පාලනේ කරන්නෙ අපි හීනෙන් වත් හිතන විදියට වත් නොහිතන විදියටවත් නෙවෙයි නෙ. ප්‍රොෆෙසර් නන්ද කියන විදියට මේක කෆ්කගෙ ලොකෙ. හහ් හහ් ඒත් මට නම් මේ ඔක්කොම මිලාන් කුන්දේරාගෙ හරි, පවුලො කොය්යෝගෙ හරි නව කතාවක පරිච්චේදයක් වගේ. කොතනින් පටන් ගත්ත ද, කොතනින් ඉවර වෙයි ද කියල කිසිම නිනව්වක් නෑ.


හහ් හහ් හහ් හහ් හහ් හහ් හහ් හහ්

ඉතින් උඹ මේ අහන් හිටියෙ කඩා වැටිච්ච හීන මාලිගාවක ඉතිරි වෙච්ච මතක එක්ක රමණයෙ යෙදෙමින් මරණය එනකන් බලන් ඉන්න රස්තියාදුකාරයෙක් ගෙ අන්තිම වචන ටික... :ඩී



"අහෝ දෙවියනි, ගන්න මා ඔබ තුරුලට.. ගන්න... ගනින් යකෝ..!!"




Categories