Sunday, February 23, 2014

"කොමන් ඔෆ් අ පවර් වර්ල්ඩ්"

ඔන්න ඉතින් පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ ගණනාවකට එපිටින් තිබ්බ ඝණකාභ හැඩේ තියෙන ග්‍රහ ලෝකෙක, දාරයක් අයිනට වෙන්න පිහිටලා තිබ්බ එකතරා නගරෙක කොල්ලෙක් ජීවත් වුනා. අපේ ලෝකෙ වගේ නෙවෙයි. ඒ ලෝකෙ හැම මිනිහෙක්ටම ඕන දවසින් දවස අලුත් දියුණු වෙන්න, කවුරුවත් නොකරපු ජාතියෙ අලුත් වැඩ කරන්න. වෙනස් විදියක්ට හිතන්න. ඒත් ඒ ලෝකෙ මිනිස්සු අපේ මේ සමහරු වගේ "මo වෙනස්, අහවල් වැඩේ ඉඳන් හැම එකක් ම කරන්නෙ වෙනස් විදියට" කිය කියා පොර ටෝක් දිදී යන්නෙ නෑ. අර කතාවක් තියෙනවා නෙ, ඔන්න කොහෙදෝ රටක එක ගෙදරක "ෂූස්" හැදුවාලු. ඒක බලාගෙන හිටපු අල්ලපු ගෙදර මිනිහා "ලේස්" හැදුවාලු. ඊටත් එහා ගෙදර එකා ඒ ගමන "මේස්" හැදුවාලු. වැරදිලාවත් අර ෂූස් හදාපු එකා ලoකාවෙ හිටියා නම්, මළ ගිනි විජ්ජුම්බරයක් වෙනවා නෙ. එහෙනම් මෙහෙට කියන්න වෙන්නෙ ඉන්දියන් සාගරේ "ෂූස් එක" කියලා. ආයේ දෙකක් නෑ. ශික්, පීලි පැන්නා නෙ. අර හතරැස් ලෝකෙ කතාව නෙ කිය කියා හිටියෙ..



මේ ලෝකෙ හැම මනුස්සයෙක් ගෙම නම "කොමන් මෑන්" ලු. දැන් අහන්න එපා කොමන් මෑන් ලා වෙන් කරලා අඳුරගන්නෙ කොහොමද කියලා. ඒක මං දන්නෙ නෑ. සමහරවිට සුදු කොමන්, කලු කොමන්, රතු කොමන්, කිරි කොමන්, බණ්ඩි කොමන් වගේ එක එක ඒවා ඇති ඉස්සරහට හරි පස්සට හරි. හැම මනුස්සයෙක් ම එක සමානයි කියන එක ඒ මිනිස්සු බොහොම තදේට විෂ්වාස කරන නිසා ලු එහෙම කියන්නෙ. ඉතින් දැන් මේ ලොකෙ තියෙනවලු එකෝමත් එක සිරිතක්. ඒ කියන්නෙ මේ ලoකාවෙ වගේ බලෙන් මිනිස්සු පිට පටවලා තියෙන නීති වගේ නෙවෙයි. සිරිත් කියන්නෙ මිනිස්සු තමන්ගෙ ස්ව කැමැත්තෙන්, බොහොම ශ්‍රද්ධාවෙන් කොරන සමාජෙ සම්මත ක්‍රියාකාරකමක් කියලා හිතාගන්නකෝ. ඒ සිරිත තමයි අවුරුදු දහ හතක් වෙනකොට ඒ ලෝකෙ ඉන්න හැම කොල්ලෙක්ම තමන්ම හදාගත්තු යානෙක හරි මොකක හරි නැගලා පර සක්වල තරණය කරලා, තවත් ග්‍රහ ලෝක, චන්ද්‍රයො, සූර්යො, තරු පහු කරගෙන ගිහින් ගිහින් වෙනත් මනුස්ස වාසයක් තියෙන ලෝකයක් හොයාගෙන ඒ ලෝකෙන් අලුත් දෙයක් අරන් එන්න ඕනලු. ඒ කියන්නෙ තමන්ගෙ ලෝකෙ තවත් දියුණු කරන්න උදව් වෙන දෙයක්..

අපි මේ කතා කරන කොල්ලත් අවුරුදු දහ හත පිරිච්ච දවසෙම හදන්න පටන් ගත්තා ලු පරසක්වල තරණය කරන වැඩේට අලුත් යානයක්. මේ යානෙ තට්ටු හතරහමාරක් තියෙනවලු. දැන් අහන්න එපා කොහොම ද තට්ටු බාගයක් තියෙන්නෙ කියලා. අපේ ලෝකෙ ඔහොම භාණ්ඩයක් හැදුවා නම් කොහොම ද ආ? ඊට පස්සෙන්දා පත්තරකාරයොයි, ටී වී කාරයොයි මාර ත්‍රිල් එකක් ගන්නෙ ඔය තට්ටු බාගෙ උඩ නැගලා. ඒ ලෝකෙට නම් ඒක "පට්ට කොමන්" අයිටම් එකක් ලු. තට්ටු බාගෙ නෙවෙයි. අලුත් දෙයක් කරන එක.



ඔන්න ඉතින් පොර දැන් යානෙ හදලා ඉවර වුන ගමන් ම ඒකට ගොඩ වෙලා ගමන යන්න පිටත් වුනා ලු. මෙහේ වගේ විවෘත කරන උත්සව, වතුර නාවලා, අෂ්ටක කියලා, *ක දෙන සීන් එහේ නෑ ලු. මිනිහා ඔන්න එක එක ජාතියෙ ලොකෙ පහු කරගෙන ඉස්සරහට ඉස්සරහට යනවා ලු. සුරන්ගනා ලෝක, යක්කු ඉන්න ලෝක, පාට පාට ලෝක, බිත්තර හැඩේ ලෝක, කිරිගොටු වගේ ලෝක.... තව නොයෙක් නොයෙක් හැඩේ ඒවා පහු කරගෙන යනකොට, යනකොට, යනකොට... ඔන්න බොලේ පොර දැක්කාලු නිල් ම නිල් පාට, රොටියක් වගේ තැටියක හැඩේ ගත්තු ග්‍රහ ලොකයක් තියෙනවා.

හහ් හහ් දැන් ඔයා හිතුවා හරියටම හරි. අපේ කොමන් මෑන් දැක්කෙ පෘථිවිය තමයි. ඊට පස්සෙ හිතපු ටිකත් හරි. මිනිහා ගොඩ බැස්සෙ ලංකාවට ම තමයි. :ඩී

මිනිහා ඉතින් කැලෑවක මැදට වෙන්න ෂේප් එකේ තට්ටු හතරහමාරෙ යානෙ නවත්තලා හොඳට වටේ පිටේ සර්ච් පාරක් දාලා ලoකාවෙ මිනිහෙක් වගේ ඇඳුම් ඇඳගෙන එළියට පහළියට බැස්සා ලු. මෙයා ආවෙ අලුතෙන් මොනවා හරි එයාලගෙ ලෝකෙට අරන් යන්න නේ. ඔයා මොකද හිතන්නෙ? ලංකාවෙන් මේ යකා මොනවා අරගෙන යයි ද? :ඩී මගෝඩිස්තුමෙක්? දිරිය දියණියක්? සාටකයක්? "ලෝ වේ" එකක්? පූල් එකක්? එතනෝල් කන්ටේනර් එකක්? අපෝ නෑ. ඔය එකක් වත් නෙවෙයි. "කොමන් මෑන්" ආවෙ "දුක දිනලා ජයගත්තු මිනිස්සුයි, ඒ මිනිස්සුන්ගෙ නිර්මාණයි, හොයාගෙන මිසක් *ක දීලා කරගත්තු ඒවා අරන් යන්න නෙවෙයි නේ :පී





ඔන්න ඉතින් පොර ආවලු ලoකාවෙ නගරෙකට. මේ නගරෙ හිටපු හැම මිනිහෙක් ගෙ ම අතේ නිල් පාට පොතක් තියෙනවාලු. ඒ මිනිස්සු හැම වෙලාවෙම ඒ පොත දිහා බලාගෙනම යි ලු ඉන්නෙ. ඇවිදින්නෙ, කන්නෙ, බොන්නෙ, අනිත් වැඩ ඔක්කොම කරන්නෙ ඒ පොත දිහා බලාගෙන ලු. කොමන් මෑන් ට මාර සතුටුයි ලු. ඇයි උගතුන්ගෙන් පිරිලා ඉතිරිලා ගියපු රටකට නේ පොර බැහැලා තියෙන්නෙ. මේ මිනිස්සුන්ගෙ අතේ තියෙන පොත් වල මොන තරම් දැනුම් සම්භාරයක් ඇත් ද කියලා හිතිලා ඇඟ හිරි වැටිලා වගේ ගියා ලු, සන්තෝසෙ වැඩිකමට හොඳේ.

කෝකටත් කියලා එක්කෙනෙක්ගෙන් පොතක් ඉල්ලගෙන බලන්න ඕන කියලා හිතුනා ලු. ඔන්න එතකොටම යටි පතුල් ළඟට දිග සායකුයි අත් දිග කමීසෙකුයි ඇඳපු කෙල්ලෙක් ඉස්සරහට ආවලු. කොමන් මෑන් ඉතින් ටිකක් කිට්ටු කරලා,

"නගා, මොනවයි ඔය පොතේ තීන්නෙ? මටත් පොඩ්ඩක් දුන්නා නම් බලන්න."

"ඌප්ස් අයියා, යූ ට නෑ එෆ්බී ඒකක්?"

අරූට දෙලෝ රත් වුනා ලු.

"ඔය පොත පොඩ්ඩක් දෙන්නකෝ නගා.."

"ආ, ටේක් දිස් අයියා.."



කොමන් මෑන් පොත අරගෙන බැලුවාලු. පලවෙනි පිටුවෙම ගහලා තිබ්බා ලු "ෆේස් බුක්" කියලා. දෙවෙනි පිටුව හැරෙව්වා ලු. මෙන්න බොලේ ඒකෙ ඉන්නවාලු මීට කලින් දැකලා නැති අමුතුම විදියෙ සතෙක්. උගේ ලෝම කහ දුඹුරු පාටයි ලු. ඒ සතා හය්යෙන් ම ගොරවලා "ඇයි මීට කලින් මාව දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න" කියලා කිව්වාලු. කොමන් මෑන් හොඳටම බය වෙලා ටග් ගාලා ඊළඟ පිටුව පෙරලුවා ලු. ඒකෙ ඉන්නවා ලු රතු පාට රෙද්දක් බෙල්ලෙ ඔතා ගත්තු මිනිහෙක්. ඒ මිනිහා එක එක වැඩ පෙන්නනවාලු. බිම පෙරලි පෙරලි කාටදෝ වඳිනවා, ළමයි වඩා ගන්නවා, සුදු වෑන් වල නැගලා එහේ මෙහේ යනවා, මයික් එකක් ඉස්සරහට වෙලා "විජාතික බලවේගෙ" කියලා එකෙක්ගෙන් ගේම ඉල්ලනවා, එක විකාරයයි ලු. ඊළඟ පිටුවෙ උඩින් ම "මම සින්ගල්" කියලා ටී ෂර්ට් එකක් ඇඳගත්තු බුවෙක් හිටියා ලු. උගේ වැඩේ මල් ගස් වටේට වටේට ගිහින් මල් කඩන එක ලු. කොමන් මෑන් හිතුවා ලු මූ නම් කන්දෙ පන්සලේ මල් බිස්නස් කාරයෙක් තමයි කියලා. ඊළඟ පිටුවෙ නoගි කෙනෙක් ඉඳගෙන හායි බායි කියනවා ලු. මිනිහා පිටු පෙරල ගෙන පෙරලගෙන ගියාලු. එක එක  පිටු වල තිබ්බ සමහර දේවල් තාමත් මිනිහාට මතකයි ලු.

"අනේ ප්ලීස් සුදූ, දැන් හොඳටම රෑ වෙලා.. "

"මට මොකුත් මතක නෑ"

"ගස් බඳිනවා දැන ගනින්"

"මට මගේ නොවන, මගේ ම මෙව්වා එකක් තිබුණා.."

"හසන්ත මහත්තයෝ, ඔන්න ඕක තමයි ආශ්චර්යය කියන්නෙ.."


ඔන්න ඔය වගේ පඬි වදන් වලින් ඒ පොත පිරිලා ලු. කලු පාට කණ්ණාඩි දා ගත්තු නලුවොයි, නිලියොයි එක එක ඈන්ගල්ස් වලින් ඉඳලා ගත්තු පින්තූර ලක්ෂ ගාණක් තිබ්බ ලු. එක එක පෙම්වත්තු පට්ට දාර්ශනික ටෝක්ස් දෙනවා ලු. ආදරේ කියන්නෙ මොන තරම් උතුම් දෙයක් ද කියලා කොමන් මෑන් ට හිතුනා ලු. ඒ පොතේ හිටපු හැම කෙල්ලෙක් ම පට්ට ලස්සනයි ලු. පොඩ්ඩක් වත් කැත එකම එක කෙල්ලෙක් වත් හිටියෙ නෑ ලු. සැල්වටෝරෙ, මැක්ස්, අන්ඩිෆීටඩ්, රූල්z, වගේ මහ අමුතු වාසගම් ලු තිබ්බෙ. මුන් ව ජාතක කරපු එවුන් සුපිරි පොරවල් වෙන්න ඇති කියලා ඌට හිතුනා ලු. ඔන්න පොර දැන් අන්තිම පිටුවට කලින් පිටුවට ඇවිත් ලු. ඒක දැකපු ගමන් කොමන් මෑන් කලන්තෙ දාලා වැටෙන්න ම ගියා ලු. සුදු ඇඳුමක් ඇඳගත්තු පොඩි ගෑනු ළමයෙක් ටයි එකකින් බෙල්ල වැළ දාගෙන හිටියාලු. මේ ජාතියෙම නිල් පාට පොතක් බිම වැටිලා තිබ්බා ලු. කොමන් මෑන් ෂේප් එකේ දාඩිය පිහිද ගෙන අන්තිම පිටුව පෙරලුවා ලු. ඒ ගමන රැවුල වවාගත්තු හින්දි නළුවෙන් දෙමළ ෆිල්ම් වල වගේ ලොකෙ මන්නයක් අරගෙන කොමන් මෑන් ඉස්සරහට පැනලා "ඩෝන්ට් අන්ඩරෙස්ටිමේට් ද කොමන් ඔෆ් අ පවර් මෑන්" කියලා කෑ ගහලා කිව්වා ලු. කොමන් මෑන් ෂේප් එකේ පොත වහලා අර නංගිට පොත දෙන්න කියලා වට පිට බැලුවා ලු.




අම්මටසිරි නගා මිසිං ලු. හැම තැනම නෑ ලු. ඔන්න ටික වෙලාවකින් මොකක් ද එකක් ටීක් ටීක් ගෑවලු. කොමන් මෑන් ෂේප් එකේ පොත දිග ඇරලා බැලුවා ලු.

මැසේජ් කියලා මොකක් ද එකක් ඇවිත් ලු.

අයියා, යූ ඔය බුක් එක කීප් කරගන්න. මං නිව් එකක් ඕපන් කරගත්තා. btw යූ හරිම හැන්සම් අනේ.

-SukiTi BaTilla Salvatore

|"කොමන් ඔෆ් අ පවර් වර්ල්ඩ්|" කොමන් මෑන් ට කියවුනා ලු.

ප;ලි; කොමන් මෑන් මේ ඔක්කොම වුනාට පස්සෙ ආපහු එයාගෙ ලෝකෙට යන අදහස අත ඇරලා දාලා ලංකාවෙම බින්න බැහැලා ආශ්චර්යෙ හොයාගෙන හොයාගෙන යන්න ගියාලු. :පී
















Categories