Wednesday, May 21, 2014

සුසුරන් (Return of Happiness)


මම ආපහු ආවා. රටවල් එකසිය තිස් හතක් පහු කරගෙන, ගංගා, මිටියාවත්, කඳු, කැලෑ, කාන්තාර, නගර එක හුස්මෙට පහු කරගෙන, හුස්මක් කටක් ගන්නවත් නවතින්නෙ නැතුව මම ආවා. අතරමගදි හම්බ වෙච්චි එක එක විදියෙ මිනිස්සු මාත් එක්ක කතා කරන්න ඕන වෙලාද කොහෙදෝ, හිත් ඇතුලෙ දාහක් ප්‍රශ්න තියාගෙන මාව නවත්තන්න හැදුවත් මං ඒ කිසිම කෙනෙක් වෙනුවෙන් එක ම එක මොහොතක් වත් දුන්නෙ නෑ. ඇවිදලා ඇවිදලා කකුල් තුවාල වෙලා මං යන පාර දිගට ලේ වැක්කෙරෙන්න ගත්තත් මට ඕන උනේ ඉක්මනට ම ගමන ඉවර කරන්න ම විතරයි.

වැස්සට තෙමිලා, අව්වට වේලිලා, වැලි කුණාටු වලින් දුඹුරු පාට වෙලා, හිම කුණාටු වලින් සුදු පාට වෙලා, වැරහැලි වෙච්චි මගේ ඇඳුම් ලෝකෙ මොන ම රටකවත්, මොන ම ගෝත්‍රයකටවත් අයිති නැති අමුතුම විදියෙ රටාවක් ගත්තා. ඒක නිසා මගදි හම්බ වෙච්චි කිසිම කෙනෙක්ට මං කොහෙන් ආවද, කොහෙද යන්නෙ, කාගෙ කවුද කියලා කිසිම අදහසක් ගන්න පුලුවන් වුනේ නෑ. කකුල් වලින් ලේ පෙර පෙරා, වැරහැලි ඇඳුම් කෑල්ලක් ඇඳගෙන, කිසිම කතාවක් බහක් නැතුව, ඉස්සරහා ම විතරක් බලාගෙන, මොහොතකටවත් ඇවිදින එක නවත්තන්නෙ නැතුව ආපු මාව දැකලා එක එක මිනිස්සු එක එක කතා කියනවා මට ඇහුනා.



පිස්සෙක්ද කොහෙදෝ. මේ නම් මේ ලෝකෙ මිනිහෙක් වෙන්න බෑ. හිමාලෙන් ආපු සන්නාසියෙක් ද කොහෙද, ෂුවර් එකටම කෙල්ලෙක් බූට් එක තියලා. මහසෝන් දිෂ්ටිය වැදිච්ච එකෙක් වෙන්න ඕන.. රටවල් එකසිය තිස් හතකම මිනිස්සු භාෂා සීයකට වැඩි ගාණකින් මං ගැන එක එක කතා කිව්වා. ඒ කතා වලට හිනා වෙන්න ද, අඬන්න ද, මොකක් ද කරන්න ඕන කියලා කිසිම අදහසක් මට ආවෙ නෑ. ඒව නිකන් ඇහුනා විතරයි. කිසිම විදියකින් මගේ හිත ඒවට ප්‍රතිචාර දැක්වුවෙ නෑ. ඉර පායලා බැහැලා ගියා. හඳත් සැරින් සැරේට මාත් එක්ක ම උස ගස් අස්සෙ හැංගි හැංගි, වලාකුළු වලට මුවා වෙවී මගේ පස්සෙන් ම ආවා. තරු මොනවා කරා ද කියලා නම් කිසිම මතකයක් නෑ.



ගමන පිටත් වෙලා හරියටම දවස් එක්දාස් එකකට පස්සෙ මම තැනිතලාවකට ආවා. ගමනේ කෙලවර ළඟයි කියලා මට ඉවෙන් වගේ දැනෙන්න ගත්තා. ඊටත් සිංහල පැය තුනකට විතර පස්සෙ තැනිතලාව මැද්දෙ තිබ්බ පුංචි ගෙයක් ඉස්සරහට මං ආවා. මෙච්චර දවස් ගාණක් දහ දුක් විඳ විඳ හෙව්වෙ මේ ගෙදර නේ ද කියලා යටි හිත කියන්න ගත්තා. ඒක වහලට පිදුරු හෙවිල්ලපු, වරිච්චි බිත්ති තියෙන පොඩි ගෙදරක්. ගෙදර වටේට ඉණි වැටක් බැඳලා තිබ්බා. ගෙදර එක පැත්තකින් පුන්චි දොළ පාරක් ගලාගෙන ගියා. ගෙදර කඩුල්ල ළඟදි දවස් එක්දාස් එකක් තිස්සෙ කිසිම මොහොතක නවතින්නෙ නැතුව ආපු ගමන මම නැවැත්තුවා. මිදුලෙ පොඩි එවුන් තුන්දෙනෙක් සෙල්ලම් කර කර ඉන්නවා එතකොටයි මම දැක්කෙ. එක පාරම පොඩි උන් ටික බයවෙලා වගේ කෑ ගහගෙන ගේ ඇතුළට දුවන්න ගත්තා. ඒ ඇයි කියලා මට හිතාගන්න බැරි වුනා. ඒත් එක්ක ම මේ මට බය වෙලා කියලා සිතුවිල්ලක් යටි හිතෙන් මතු වී ගෙන එනකොටම මොකද මොකද මේ කලබලේ කියාගෙන තරුණ ගෑනු කෙනෙක් ගේ ඇතුලෙ ඉඳලා එළියට ආවා. මේ ළමයින්ගෙ අම්මා කියලා හිතුනත් ඒත් එක්ක ම ඒ සිතුවිල්ල නැති වෙලා ගියා.

ළමයි තුන්දෙනෙක් වදලා, කිරි දීපු ගෑනියෙක් ගෙ ඇඟක් නෙවෙයි එයාට තිබ්බෙ. චොකලට් පාට හම, ටිකක් පළල් උකුලත් එක්ක කොණ්ඩෙ පිට මැද්දෑවට වෙන්න වනලා තිබුණා. සුදුපාට ලිනන් රෙද්දකින් මහපු අමුතුම ඇඳුමක් එයා ඇඳන් හිටියෙ. ඒ ඇඳුමෙන් එයාගෙ ඇඟේ හැඩය නියමෙට මතු වෙලා පෙනුනා. මේ ඔක්කොම බලාගන්න තත්පරෙන් දහයෙන් පංගුවක් යන්න ඇති වැඩිම වුනොත්. එයා එක පාරටම ගල් ගැහිලා වගේ තත්පර කිහිපයක් ඉඳලා දුවගෙන ඇවිත් කඩුල්ල ඇරලා මගේ ඉස්සරහ හිටගෙන මගේ ඇස් වලට එබිලා බලාගෙන හිටියා.






අපිට කතා කරන්න ගොඩාක් දේවල් තිබුණා. ඇයි ගියේ? ඇයි ආවේ? මොනව ද කරේ? ඇයි කතා කරේ නැත්තෙ? ඇයි මෙච්චර කල්?ඇයි ඇයි ඇයි??? ඒත් අපි ඒ කිසිම දෙයක් ඇහුවෙ නෑ. ඒ වෙනුවට එකිනෙකාගෙ ඇස් වලට එබිලා බලාගෙන හිටියා. අර හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බ වුණා වගේ දැනෙන්න ගත්තා. ඒත් එක්ක ම වචන කියන්නෙ මොන තරම් අවැදගත් දෙයක් ද කියලා මට හිතෙන්න ගත්තා. "ගෙට යමු." එයා කිව්වා නෙවෙයි, මට එයා ඒක කියන බව දැනුනා. මම ආයෙම කකුල් උස්සන්න කලින් එක ම එක පාරක් මම ආපස්ස හැරිලා බැලුවා. මම ආපු ආර දිගටම මගේ කකුල් වලින් වැටිච්ච ලේ වැටිලා තිබ්බා. කොළ පාට පසුබීමේ ඇඳපු රතු පාට ඉරක් වගේ. ඒත් එක්ක ම එයා මගේ අතින් අල්ලගන්නවා දැනුනා.



අර ලේ පාර තාමත් තියෙනවා ඇති, කැමති නම් ගිහින් බලන්නකෝ.

Categories