Sunday, November 2, 2014

"කලම්බු මෙට්‍රො"

මේ කතාව කොහොම කියන්න ද, කොහොම ලියන්න ද කියලා හිතාගන්න හරිම අමාරුයි. ඒත් මට මේක කියන්න ම ඕන.

සිය පාරක් විතර බ්ලැන්කට් එක අස්සෙ ඒ මේ අත පෙරළි පෙරළි ඉඳලා නැගිටිනවා ද නැද්ද කියන තීරණේ ගන්න හැමදාම මට පැය කීපයක් යනවා. අන්තිමට අත පත ගාලා මාර ගේමක් දීලා ෆෝන් එක හොයාගන්න හැම වෙලාවක ම ඒකෙ වෙලාව අට හමාර පහු වෙලා තියෙන්නෙ ඇයි ද කියලා මට කවදාවත් ම තේරෙන්නෙ නෑ. ඇයි දෙය්යනේ කොහොමද මෙච්චර වෙලා යන්නේ?



"නවයාමාර, දහයාමාර, එකොළහමාර, දොළහමාර, එක. ලoකාවෙ වෙලාව එකයි. ඒ කියන්නෙ එයාගෙ ලන්ච් බ්‍රේක් ඒක. එයා මොනවා කරනවා ඇති ද ඇත්තටම? කෝල් එකක් ගන්නවා ද? එක්කෝ ඕන නෑ. මෙසේජ් එකක්? එයාට කරදරයි නේ. ඕන නෑ. අද මොකක් ඇඳගෙන ගියා ද දන්නෙ නෑ. ම්ම්ම් බ්ලැක් ස්කර්ට් ඇන්ඩ් බ්ලව්ස් වෙන්න ඕන. ෂික් මට එක පාරක් බලාගන්න තිබ්බ නම් එයාව..."

ඒත් කොහොම යන්න ද? හවස පහ වෙනකොට පාර ළඟට ගිහින් හිටියා නම් හරි නෙ. උඹට පිස්සුද ඇත්තටම? ගෙදර ඉඳන් එයාපෝට් එකට යන්න පැයක් යනවා. චෙකින් ඉවර වෙලා ප්ලේන් එක උස්සනකන් තව පැය 2ක් වත් අඩුම ගානේ බලන් ඉන්න වෙනවා. ඩුබායි වලට යන්න පැය හයක් යනවා. ට්‍රාන්සිට් එකට පැය තුනයි අඩුම. කටුනායකට යන්න පැය හතරහමාරයි. එයාපෝට් එකෙන් එළි‍යට ගිහින් ටැක්සියක් අල්ලගෙන පිටත් වෙන්න තව පැය දෙකක් වත් යයි අඩුම ගානේ. එතනින් බොරැල්ලට යන්න පැය එකහමාරයි. ඉතිරි ටිකට පැය බාගයයි. යකඩෝ පැය විස්සකට වඩා යනවනේ කොහොම ගියත්. එතකොට එයාගෙ බ්ලැක් ස්කර්ට් එකයි බ්ලව්ස් එකයි ගෙදර කිළුටු රෙදි ගොඩේ තියේයි. මo කොහොමද ඒක බලන්නෙ?

හැමදාම එක ම දේවල් එකම විදියට හිතෙන්නෙ මොකද කියන එකට උත්තරයක් මට තාම කල්පනාවට ආවෙ නෑ. හැමදාම උදේ අටහමාරට එයාව බලන්න යන්න කොච්චර වෙලාවක් යනව ද කියලා මම ගණන් හදනවා. එක ම ගාන කී පාරක් හැදුවත් උත්තරේ මතක හිටින්නෙත් නෑ නෙ. අනේ මන්දා. කර්ට්න් එක අස්සෙන් පේන අහසෙ හැමදාම තියෙන්නෙ අලු පාට එකම වළාකුළ. ඒක හැමදාම ජනේලෙන් එබිලා මට ඔරවගෙන ඉන්නවා. අම්මාපල්ලා ඇත්තමයි මට පුලුවන් උනානම් ඔය වළාකුළ පිඹලා පිඹලා ඈතට පා කරලා යවන්න... එහෙනම් ලස්සනට එළි‍ය ඩින්ගක් වැටෙනවා නේ. විකාර හිත හිතා ඉඳලා හරියන්නේ නෑ නේ. එයා වෙනුවෙන් ලස්සනට පිරිසිදුවට ඉන්න එපැයි. නැද්ද මo අහන්නේ.



ඊට පස්සෙ ඉතින් බැරි බැරි ගාතේ ගිහිල්ලා ඇඳුම් ඔක්කොම ගලවලා දාලා උණු වතුර බේසමට බහිනවා. උණු වතුර වාශ්ප මගේ දුඹුරු පාට හම අස්සෙන් ඇතුළට ගිහින් රුධිර කේශ නාළිකා ලක්ෂ ගාණක් ඔස්සේ ශිරා වලට එකතු වෙලා මගේ හදවතට රිoගා ගන්නවා. එතකොට ම "ෂික්, එයත් හිටියා නම්" කියලා හිතෙනවා. උණු වතුර ටික ටික සීතල වෙලා වාශ්ප ටික ආපහු හදවතෙන් එළි‍යට යනකන් ම අර හැඟීම අඩු වැඩි වශයෙන් දැනෙන්නෙ ඇයි කියන්න මට නම් තේරෙන්නෙ නෑ. බේසමෙන් එළි‍යට ඇවිත් වොශ් බේසින් එකට අත තියාගෙන කණ්ණාඩියට එබුනා ම දවසක රැවුලක් වවාගත්ත මිනිහෙක් මට පේනවා. එයා කැමති නැති වෙයි රැවුල් කොට එයාගෙ මූණෙ ඇනෙනවාට. නිකන් කොරොස් කට්ටක් වගේ නේ. අන්න එහෙම රැවුල කපලා මනුස්සයෙක් වගේ ඉන්න හේතුවක් මට හම්බ වෙනවා.

වැඩ ඔක්කොම කරගෙන එළියට ආවට පස්සෙ ඔරලෝසුව කියන්නෙ වෙලාව දහයාමාරයි කියලා. ලoකාවට තුනයි. එයා දැන් වැඩ ඇති ද? ඔව් හොඳට ම වැඩ ඇති. ඉඟුරු දාපු තද දුඹුරු පාට තේකක් සුදු පාට මග් එකක මේසෙ කොණක ඇති දුම් දම දමා. කොයි වෙලෙත් මූණ මැද්දට වැටෙන කොණ්ඩ කෑල්ල තමයි එයාට කරදර කරනවා ඇත්තෙ. අනේ ඇත්තමයි, කොණ්ඩ කෑල්ලට බැරිද කන පිටිපස්සට වෙලා ඉන්න? එයාට වද නොදී? එයාට කොච්චර නම් වැඩ තියෙනවා ද ඕක හදනවාට වඩා? ඒත් ඒකෙත් මාර ගතියක් තියෙනවා. නැද්ද මo අහන්නෙ? මo කොච්චරක් නම් ආසයි ද එයා කොණ්ඩ කෑල්ල පිටිපස්සට දාගන්න විදියට.



ඔන්න ඔය වගේ විකාර සිතුවිලි දාහක් අස්සෙ මම මොනවා හරි රත් කරගෙන කනවා. ඊට පස්සෙ ඩෙනිමට බැහැලා රෙදි තට්ටු හතක් විතර පෙරවගෙන බෑග් එකත් එල්ලගෙන, කොණ්ඩෙ පොඩ්ඩක් පීරගෙන, ලoකාවෙන් ගතපු "රෝයල් වෙඩ්ඩින්ග්" පර්ෆියුම් එකත් උලාගෙන පහළට බැහැලා දවස පටන් ගන්නවා. මෙට්‍රෝ එකේ දි හම්බ වෙන සිය ගාණක් ඇස් අතරෙ එයාගෙ වගේ ලොකු, කලු, අහින්සක ඇස් දෙකක් හොයනවා. ඒත් ඒ ළඟින් වත් යන එකක් මට කවදාවත් හම්බ වෙලා නෑ.

බොන්ජොර්නෝ! චාව්! දී ශාප්! මාව දැකලා ලියානා හැමදාම පස්තර් වියා එක ළඟ ඉඳලා දුවගෙන එනවා. අපි දෙන්නා එකම කැෆේ එකෙන් කපුචිනෝ දෙකක් බීලා ලෙක්චර් එකට යනවා. එයා දැන් ගෙදර යනවා ඇති මට හිතෙනවා. ඒත් එක්කම ලියානාටත් ලොකු ඇස්, මූණට වැටෙන කොණ්ඩයක්, වේස්ට් එක 31 ජීන්ස් තියෙනවා නේද කියලා හිතෙනවා. ඒත් ලියානාගෙ කොණ්ඩෙ දුඹුරු පාටයි, ඇස් නිල් පාටයි. එයාගෙ වගේ නෙවෙයි කියලා පටාස් ගාලා මතක් වෙනවා.

මo කවදා හරි ලoකාවට ගිහින් "කලම්බු මෙට්‍රො" එක හදනවා. එතකොට එයාට විනාඩි 20න් යන්න එන්න පුලුවන්. පැය දෙක බැගින් දවසට දෙවරක් රස්තියාදු වෙන්න ඕන නෑ ට්‍රැෆික් එකේ. හැමදාම ලෙක්චර් අස්සෙදි මo එහෙම හිතනවා. උඹ මෙට්‍රො එක හදනකොට එයා බැඳලා ළමයිනුත් ඉඳීවි. යටි හිත මට කොචොක් කරනවා.



ලෙක්චර්ස් ඉවර වුනු ගමන් මම "රිස්තොරාන්තේ දි රොමොලො" එකේ වැඩට දුවනවා. බාගෙට එළිය තියෙන සාලේ එකේ ජෝඩු ජෝඩු ගුළි වෙලා වීනො බිබී පාස්තා කන අතරෙ මම මාබල් පොළොව පිහිදනවා. "එයා දැන් නිදි ඇති" මට හිතෙනවා.. 

Categories