Thursday, December 18, 2014

"අමතක වීම"





මීට අවුරුදු පන්දාහකට විතර කලින් දැන් ඉන්දියාවයි, පකිස්තානෙයි අතර ප්‍රදේශයේ ලෝකෙ පැරණිම ශිෂ්ටාචාර වලින් එකකට අයිති මිනිස්සු ජීවත් වුනා. මේ මිනිස්සුන්ගේ ජීවිතේ ප්‍රධාන ම, ඒ වගේ ම වටිණාම දේ වුනේ වතුර. ගම්, නගර බිහිවුනේ ගoගා අයිනේ. වැස්ස කාලෙට ගoගාව පිරිලා පිටාර ගලන ජලය එකතු කරගන්න වාරිමාර්ග හදන තාක්ෂණය තමයි මේ මිනිස්සු ළඟ තිබ්බ වටිණාම දේ. බොහොම කටුක පරිසරේක වුණත් නගර, උද්‍යාන හදාගෙන මේ මිනිස්සු ජීවත් වුනා. මෙයාලා ජනාවාස ඇති කරගත්තේ "හගා හක්‍රා" ගඟ අයිනේ. "රිග් වේදයේ" මේ ගඟට හඳුන්වලා තියෙන්නේ "සරස්වතී" කියලා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරෙටම අයිති වෙච්චි "හගා හක්‍රා" ගඟ අයිනේ තිබුණ "දොලවිරා" කියලා නගරෙක නටබුන් අදටත් ඉතිරි වෙලා තියෙනවා. ගඟ දිගට තිබ්බ නගර වල මූලික සැලසුම මොන වගේ ද කියලා අපිට "දොලවීරා" වලින් ඉගෙන ගන්න පුලුවන්. නගරය වටේටම තිබිලා තියෙන්නෙ ගoගාවේ පිටාර ජලය එකතු කරගන්න හදපු තටාක. මේ වතුර අවුරුද්ද පුරාම තියාගන්නත්, ඒ වතුරෙන් හැමදේම කරගන්නත් ඒ මිනිස්සුන්ට පුලුවන් වෙලා තියෙනවා. කලිනුත් කිව්වා නේ. මේ මිනිස්සුන්ගේ ජීවිතේ වැදගත් ම දේ තමයි වතුර. ඒ නිසා ම එයාලගේ දෙවියනුත් "වතුර" ම තමයි. වැස්ස ලැබුනේ නැත්නම්, ගඟේ වතුර නැත්නම් එයාලගේ පැවැත්මත් එතනින් ඉවරයි. නගරෙ මැද, තරමක් උස බිමක තමයි එයාලගෙ දේවස්ථානය තිබ්බෙ. දේවස්ථානෙ මැද ළිඳක් තියෙනවා. (අදටත් මේ ළිඳ තියෙනවා) පොළොව මතුපිටින් ගලන ගඟේ වතුර වලට වඩා මේ ළිඳේ වතුර බොහොම බලවත් කියලා තමයි මිනිස්සු විශ්වාස කරේ. පොළොව කියන්නෙත් බොහොම පූජනීය දෙයක්. ඒ නිසා පොළොව යටින් මතු වෙන වතුර බොහොම පූජනීයයි. ඒක නිසා තමන්ගේ ආත්මය ඒ වතුරෙන් පිරිසිදු කරගන්න පුලුවන් කියලා මිනිස්සු විශ්වාස කරා.



ඒත් සරස්වතී ගඟ හැමදාමත් එකම විදියට ගැලුවේ නෑ. මීට අවුරුදු තුන්දාහකට විතර කලින් ඇති වුන විශාල භූමිකම්පාවක් නිසා සරස්වතී ගඟේ මාර්ගය වෙනස් වෙලා ඒ ජල ප්‍රවාහය "ගoගා නිම්නය" දිහාවට, ඒ කියන්නෙ නැගෙනහිරට හැරුනා. සරස්වතී ගඟෙන් සාරවත් වෙච්ච නිම්නය ශුෂ්ක කාන්තාරයක් වෙන්න ගත්තා. අද "ථාර් කාන්තාරය" කියන්නෙ ඒ "සරස්වතී නිම්නය"ට තමයි. මෝසම් කාලෙට විතරක් වැහි වතුර ටිකක් පරණ මහා ගoගාව දිගේ ගලාගෙන ගියා. මහා විශාලෙට තිබිච්ච ශිෂ්ටාචාරෙ වැළලිලා ගියා. නගර නටබුන් වුනා. ඒත් මහා ගoගාවයි, ගoගාව දෙපැත්තෙ ජීවත් වෙච්ච මිනිස්සුයි ලෝකට කවදාවත් අමත වුනේ නෑ. ඒ මිනිස්සුන්ගේ ආත්මීය බැඳීම තිබ්බෙ වතුරත් එක්ක. තාක්ෂණය, ආගම්, ඇදහිලි හැම එකක් ම බද්ධ වෙලා තිබ්බෙ ඒ වටේට. අද තමන්ගෙ පව් සෝදා ගන්න, ආත්මය පිරිසිදු කරගන්න ගoගානම් ගඟේ නාන ඉන්දියානුවෙක් අපිට කියන්නෙ අවුරුදු පන්දාහකට කලින් ජීවත් වෙච්ච අර මිනිස්සුන්ගේ කතාව නෙවෙයි ද? එතකොට ඒ මිනිස්සුන්ගෙ මතකයය් අමතක කරන්න මහා ලොකු භූමිකම්පාවකටයි, අවුරුදු පන්දාහකටයිත් බැරි වෙලා නේ.



පැරණි ඊජීප්තු ඇදහිලි වලට අනුව පොළොවට අධිපති දෙවියා (ගෙබ්) සහ අහසට අධිපති දෙවඟන (නුට්)ගෙ එක දුවෙක් තමයි "ඉසිස්". ඈ තමයි විවාහය, මාතෘත්වය, සහ දැනුමට අධිපති දෙවඟන. . ඈ විවාහ වුනේ ඇගේම සහෝදරයා වෙච්ච "ඔසිරිස්" එක්ක. "සෙත්" විසින් "ඔසිරිස්" ව මැරුවාට පස්සේ "ඉසිස්" ඇගේ ආදරයේ හා මායා බලයෙන් "ඔසිරිස්"ට ආපහු පණ දුන්නා. හැම අවුරුද්දකම නයිල් ගඟ පිටාර ගලන්නේ ඔසිරිස් වෙනුවෙන් අඬන ඉසිස්ගෙ කඳුලු නිසා කියලා තමයි ඊජීප්තු මිනිස්සු විශ්වාස කළේ. ඉසිස්ගෙ පුතා "හොරස්". රාජ්‍යත්වයට අධිපති දෙවියා. "ඉසිස්" ඊජීප්තුවේ ඉපදුනාට එහෙට විතරක් සීමා වෙච්ච ඇදහිල්ලක් නෙවෙයි. ඊජීප්තුවෙන් පටන් අරගෙන පර්සියාව, ග්‍රීසිය, රෝමය වෙනකන් ම "ඉසිස්" ඇදහිල්ල පැතිරුනා. ඒ ඒ රටවල්, සoස්කෘති ඒ ඒ විදියට ඉසිස් ව එයාලගේ කරගත්තා. අවුරුදු තුන්දාස් පන්සීයක් තිස්සේ ඊජීප්තුවේ, ග්‍රීසියේ රෝමයේ වහලුන්, පව්කාරයන් කියල සම්මත වෙච්ච මිනිස්සු, කෙලින් ම කියනවා නම් දුක් විඳින මිනිස්සු පහන් පත්තු කරලා තමන්ගේ දුක කිව්වේ "ඉසිස්" දෙවඟනට. "ඉසිස්", "හොරස්" ව වඩාගෙන කිරි පොවන ප්‍රතිමා චිත්‍ර සිය ගණනක් ඊජීප්තුවේ, රෝමයේ, නාපෝලියේ, පැරීසියේ, ලන්ඩනයේ ජාතික කෞතුකාගාර වල අදටත් දකින්න පුලුවන්.



"හොරස්" ඉසිස් වෙනුවෙන් ඉදිවෙච්ච දේවස්ථාන අතීත "ග්‍රීක-රෝමානු" ලෝකය පුරාම අදටත් දකින්න පුලුවන්. ඉසිස් වෙනුවෙන් වෙන් වෙච්ච සoකේත සහිත ලේඛනත් සිය ගාණක් අද වෙනකොට ලැබිලා තියෙනවා. අවුරුදු තුන්දහකට වඩා වැඩි කාලයක් හැම කෙනෙක්ගෙම දුක අහගෙන හිටපු, හැම කෙනෙක්ටම අම්මා කෙනෙක් වුණ ඉසිස් දෙවඟනට හැමදාම එක ම විදියට ඉන්න පුලුවන් වුනේ නෑ. බටහිර ලෝකයේ ක්‍රිස්තියානි ආගම පැතිරීමත් එක්ක "පැගන් ඇදහිලි" යටපත් කිරීම සිද්ධ වුනා. ඒ අතරේ ඉසිස් දෙවඟනටත් යටපත් වෙන්න සිද්ධ වුනා. ඒත් හොරස් ව වඩාගෙන කිරි පොවන ඉසිස් දෙවඟනගෙ රූපෙ මිනිස්සුන්ගෙ හිත් වලින් ඈත් කරන එක එච්චර ම ලේසි වුනේ නෑ. ඒ නිසාම ක්‍රිස්තියානි ලෝකෙට "ජීසස්" වඩාගෙන ඉන්න "වර්ජින් මේරි" ආදේශ වුනා. මාතෲත්වය, දාරක සෙනහස වගේ "ඉසිස්" ඇදහිල්ලෙ තිබුනු ඔක්කොම මූලික හරයන් ක්‍රිස්තියානි "වර්ජින් මේරි"ට ආදේශ වුනා. අද වෙනකොට පැගන් ඇදහිලි වලපල්ලට ගිහින් අවුරුදු එක්දාස් පන්සීයකට වැඩියි. ඒත් "ඉසිස්" දෙවඟ ලෝකෙට අමතක වෙලාද? නෑ. ලෝකෙ හැමතැනම තියෙන "වර්ජින් මේරි" ප්‍රතිමා ඇතුලෙ ඉන්නේ ඉසිස් දෙවඟන කියලයි මම හිතන්නේ.



"කුෆු ෆේරෝ" ගීසා වල මළවුන්ගේ නිම්නයේ ලෝකෙ ලොකු ම ගල් වලින් හදපු ඉදිකිරීම, "මහා පිරමීඩය" හැදුවා. ලක්ෂ ගාණක් මිනිස්සු ඒ වෙනුවෙන් දවල් රෑ නැතුව වැඩ කරලා මැරිලා ගියා. ඒත් අදත් ලෝකෙ ඉස්කෝලෙ යන හැම ළමයෙක් ම මහා පිරමීඩ ගැන ඉගෙන ගන්නවා. පිරමීඩ ගැන කතාව කියවෙන හැම වාරෙකම ඒවා හදන්න මහන්සි වෙච්ච මිනිස්සුන් ගැන මතකය අලුත් වෙනවා. ලෝකෙ කියවෙන හැම කතාවකම, මිනිස්සු දකින හැම හීනෙක ම කවුරු හරි කෙනෙක්, මොකක් හරි සිද්දියක් ගැන මතකයක් අලුත් වෙනවා. මේ ලොකෙ ඇතුලෙ අමතක වෙච්ච කිසිම දෙයක්, කිසිම කෙනෙක් හරි කිසිම සිද්ධියක් නෑ. ඔයාගෙ ජීවිතේ අමතක කරපු කෙනෙක් හරි, අමතක කරපු සිද්දියක් හරි තියෙනවා ද ඇත්තටම? පොඩ්ඩක් හිතලා බලන්න. ඇත්තටම ඒක අමතක වෙලා ද ඔයාට? නෑ නේද? ඒක ආයෙ මතක් වුනා නේ ද?

ඊයේ මo ආදරේ කරන කෙල්ලගෙන් මට ඇමතුමක් ලැබුනා.

"කරුණාකරලා මාව අමතක කරන්න."

-- "අමතක කරන්නම්, ඒත් අමතක වෙයි ද දන්නෙ නෑ."

(ඒකයි මේක ලිව්වේ.)



Monday, December 8, 2014

"ෆ්ලොරන්තිනෝ අරීසා"

"ෆර්මිනා, මම මේ මොහොත එනතුරු අවුරුදු පනස් එකයි, මාස නවයයි, දවස් හතරක් බලාගෙන හිටියා. ඒ තමයි මo ඔයාට ආදරේ කරපු තරම."

"ෆ්ලොරන්තිනෝ අරීසා, පලයන්, බැහපන් එළියට!!"






"ෆ්ලොරන්තීනො අරීසා", එක වෙලාවකට උඹ මට වීරයෙක් වුනා. තවත් වෙලාවකට උඹ කාලකන්නි මෝඩයෙක් විදි



යට මo දැක්කා. උඹ වගේ වෙන්න ඕන වුනා. උඹ වගේ වෙන්න උත්සාහ කරා. ඒක මොන මෝඩකමක් ද  කියලා හිතුනා. උඹට ඊර්ශ්‍යා කරා. ඇත්තටම උඹ මොකෙක් ද? ඒක මට තාම හිතාගන්න බෑ. කවදාවත් හිතෙන එකකුත් නෑ. උඹව හදපු ගාර්ෂියා මාර්කස් වත් හරියට ම දන්නෙ නැතුව ඇති උඹ වීරයෙක් ද මෝඩයෙක් ද කියලා. ඒත් උඹේ හදවත අවoකයි. උඹ හරි ළාමකයි. උඹ බොළඳයි. ඒ වගේම උඹ මාර ම පොරක්. "

ලෝකෙ ඉන්න සමහර මිනිස්සු ජීවත් වෙන ලෝක හරිම වෙනස්. සාමාන්‍ය ලෝකෙ සිද්ද වෙන්න බැරි ගොඩාක් දේ



වල් ඒ ඒ ලෝක ඇතුලෙ සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවනි. ඒත් මේ විදියට අමුතු විදියට ලෝකෙ දැක්ක මිනිස්සු තමයි පාවුලෝ කොයියෝ, ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කස් කියන්නෙ. "මායාවාදී යතාර්ථය" (ජ්දක්ජ්ද්ල්ජක්) මේ ලෝකෙට බිහි වෙන්නෙ මෙන්න මේ වගේ අමුතු මිනිස්සුන්ගෙ අමුතු ලෝක ඇතුලෙ. ගාර්ෂියා මාර්කස් 1988 අවුරුද්දෙ දි ලියපු "El amor en los tiempos del cólera", එහෙම නැත්නම් ඉන්ග්‍රීසි භාෂාවෙන් "Love in the time of Cholera" නවකතාවෙ තමයි මම ඉස්සර වෙලා කියපු "ෆ්ලොරෙන්තීනො අරීසා", "ෆර්මිනා දාසා" දෙන්නා ඉන්නෙ. ඒකත් එකෝමත් එක ආදර කතාවක් තමයි. ඒත් සෑහෙන අමුතුයි.







කෙටියෙන් කිව්වොත් එක්දහස් අටසිය ගණන් වල මැද හරියෙදි කොළොම්බියාවෙ තරුණ කෙල්ලෙකුයි, කොල්ලෙකුයි ආදරේ කරන්න ගන්නවා. කෙල්ල පෝසත් පවුලක. කොල්ලා ටෙලිග්‍රෑම් බෝයි කෙනෙක්. පෝස්ට්මන් වගේ ටෙලිග්‍රෑම් අරන් යන එක තමයි රස්සාව. කෙල්ලගෙ තාත්තා කොල්ලාට කැමති වෙන්නෙ නෑ. අන්තිමේ කෙල්ලව දොස්තර කෙනෙක් ට බන්දලා දෙනවා. බලෙන් නෙවෙයි. තමන්ට ලබාගන්න බැරි ආදරයක් පස්සෙ යන එක මායාවක් පස්සෙ යනවා වගේ වැඩක් කියලා කෙල්ලට ම හිතිලා තමයි කෙල්ල කසාදෙට කැමති වෙන්නෙ. බඳින්නෙ දොස්තර කෙනෙක්. අන්තිමේ අවුරුදු පනහකට විතර පස්සෙ කට්ටියම වයසට ගිහින් අර බැඳපු මනුස්සයා මැරෙනවා. ඒ වෙනකන් බලන් ඉන්න, වයස 70 පැනපු අරීසා, ෆර්මිනා ව හම්බ වෙන්න ගිහින් තමන් ආදරේ කරපු හැටි කියනවා. මුලින් එළවා ගත්තත් පස්සෙ ෆර්මිනා අරීසාට කැමති වෙලා දෙන්නා විවාහ වෙනවා. අවුරුදු 20 දි ටෙලිග්‍රෑම් බෝයි කෙනෙක් වෙච්චි අරීසා, අවුරුදු 70 වෙනකොට නැව් සමාගමක අයිතිකාරයෙක්. ඒ වගේම අරීසා පත වෙච්චි අවුරුදු 50 ඇතුළත ගැහැනු හය සීයකට වඩා වැඩි ගණනක් එක්ක නිදා ගන්නවා. ඒ හැම කෙනෙක් ගැනම පොතක විස්තර ලියනවා. ඒත්



ඒ කිසිම කෙනෙක් ළඟ ෆර්මිනා ළඟ තිබ්බ ආදරේ අරීසාට හම්බ වෙන්නෙ නෑ. යුද්ධ, වසoගත රෝග ඇති වෙනවා, නැති වෙනවා. හැම දේම වෙනස් වෙනවා. ඒත් වෙනස් වෙන්නෙ නැති එකම දේ අරීසා ගෙ ආදරේ විතරයි. ඒක නිකම්ම නිකන් ආදර කතාවක් නොවෙන්න හේතු ගොඩාක් කතාව ඇතුලෙ තියෙනවා. 1985 දි ස්පාඤ්ඤ භාෂාවෙන් පළ වෙච්චි පොත, 1987 දි ඉන්ග්‍රීසි භාෂාවෙන් පළ වෙනවා. ඒ වගේම 2007 දි චිත්‍රපටියකුත් හැදෙනවා.





මගේ ජීවිතේ එක එක අවස්ථාවල් වලදි අරීසා ව එක එක විදියට මට පෙනිලා තියෙනවා. කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ට්‍රයි කරන වෙලාවල් වලදි අරීසා පොරක් විදියටත්, ඒ කෙල්ල මාව අත ඇරලා ගියාට පස්සෙ අරීසා මෝඩයෙක් විදියටත් මo දැකලා තියෙනවා. අරීසා කියන්නෙ ජීවිතයක් නෙවෙයි, හෙවනැල්ලක් කියලා කතාවෙ එක්තරා තැනකදි කියවෙනවා. ඒත් හෙවනැල්ලකට එක කෙල්ලෙක් අකමැති වුනාට, ගැහැනු හයසීයකට වඩා කැමති වුනේ කොහොමද කියන එක මට ඉස්සර ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනා. හොඳට ඇඟ පත තියෙන, අත දිග ඇරලා වියදම් කරන හයේ හතරෙ පොරවල් වලට කෙල්ලො කැමති වෙනවා කියලානෙ අපි හිතන් ඉන්නෙ. ඒත් ඒක ගොඩක් වැරදි. සාමාන්‍ය ගෑනු හිත "අරීසා" වගේ මිනිස්සු දකින්නෙ, ආදරය අවශ්‍ය කරන අය හැටියට. හැඩි දැඩි පිරිමින්ගෙ ගොරෝසු කමට කැමති ගෑනුත් නැතුව නෙවෙයි. ඒත් අරීසා වගේ ආදරේ ඉල්ලන, ආදරේ කරන හෙවනැලි ජීවිත ඉස්සරහා ගෑනු හිත ඊට වඩා උණු වෙනවා. කවියොන්ට, නලුවොන්ට, ගායකයොන්ට ගෑනු එක්කෙනාට වඩා ඉන්නෙ මෙන්න මේ හේතුව නිසා තමයි. මට මේක අවුරුදු 16 දි මුලින් ම "Love in the time of Cholera" කියවනකොට තේරුණේ නැති වුනාට 20 දි ආයෙම කියවන කොට තේරෙනවා.



අවුරුදු 30 දි, 40දි, 50 දි, මේ ගැන මොන විදියට හිතෙයි ද කියන්න මම දන්නෙ නෑ. සමහර විට එතකොට අරීසා ගැනත්, මාර්කස් ගැනත්, අවුරුදු 20 දි මේක් ලියන එකා ගැනත් වෙනම ම  කියවීමක් තියෙන්න පුලුවනි. මම එක කෙල්ලෙක් වෙනුවෙන් මැරීගෙන ආදරේ කරන එකෙක් නෙවෙයි. ඒ වගේ ම කෙල්ලො හයසීයක් එක්ක නිදාගත්ත එකෙකුත් නෙවෙයි. ඒත් මo අරීසා ට ගොඩාක් කැමතියි. ඌට බනින්න, ඌව අගේ කරන්න, ඌයි, මායි සසඳන්න, උගේ කෙල්ලයි, මගේ කෙල්ලයි එකට තියලා බලන්න මාර කැමතියි.



"ෆ්ලොරන්තිනෝ අරීසා"ලා වගේම "ෆර්මිනා දාසා"ලාත් මේක කියවනවා ඇති. කියවන හැම කෙනෙක්ගෙම ජීවිත වල ඇතුළට එබිලා බැලුවොත් ලබාගන්න බැරි වෙච්ච හැමදාම විඳවන ආදරයක් තියෙනවා ඇති. ඒ ඔක්කොටම කියන්න තියෙන්නෙ උඹලා හැම කෙනෙක් ඇතුලෙම "අරීසා" කෙනෙක් ඉන්නවා. ඌට කතා කරලා බලපන්.






Categories