Saturday, April 11, 2015

ඡායා


මුළු අහසම කලු පාට වළාකුළු වලින් වැහිලා, මුලු පරිසරයම වචන වලින් විස්තර කරන්න බැරි "අලු" පාටක ගිලිලා තිබුණු සීත ඍතුවේ සීතල ම හවසක, සීතලෙන් ගල් වෙච්ච මිලානෝ නගරේ, "අබියාතෙග්‍රාස්සො" උමo දුම් රිය පොළෙන් පිට වෙන, සිය ගාණක් මිනිස්සු දිහා බලාගෙන, ඒ ළඟ තිබ්බ මහල් නිවාසෙක ජනේලයක් අයිනට වෙලා, කලු පාට කොණ්ඩෙකුයි, දුඹුරු පාට හමකුයි තියෙන කොල්ලෙක් මොනවා දෝ හොයමින් හිටියා. කලු පාට කබායවලුයි, බූට් සපත්තුයි පැළඳගෙන, අත් සාක්කු වල දාගෙන සිගරට් බොමින්, වැඩි කතා නැතුව ඉක් ඉක්මණට ගෙවල් වලට යාගන්න උත්සාහ කරන සුදු, දුඹුරු, කලු මිනිස්සු අතරේ මේ කොල්ලා හෙව්වේ වෙන මොකක් වත් නෙවෙයි, ඇස් දෙකක්. ඒක හරියට "මිලාන් කුන්දේරා" ගෙ කතාවක් වගේ වුණාට එයා හෙව්වේ ඇස් දෙකක් තමයි. ඒත් නිකන් ම නිකන් ඇස් දෙකක් නෙවෙයි, අර ජපානෙන් ගෙන්නන රීකන්ඩිෂන් ඩොල්ෆින් වෑන් එකක හෙඩ් ලයිට් දෙක වගේ, එහෙමත් නැත්නම් පුoචි කාලේ වීදුරු ටැoකි වල දාලා ඇති කරන ගෝල්ඩ් ෆිෂ් මාලුවෙක් ගේ ඇස් දෙකක් වගේ ලොකූ ඇස් දෙකක්. හරි හරි, ඇස් තනියම ඇවිදින්නෙ නෑ නෙ පාරෙ, ඒ වගේ ඇස් තියෙන කෙල්ලෙක් එයා හෙව්වෙ.



පැය ගාණක් බලo හිටියත්, හොඳටම අඳුර වැටිලා, උෂ්ණත්වය බිoදුවෙන් පහළට ගියත්, දුම් රිය සිය ගාණක් අබියාතෙග්‍රාස්සො පහු කරන් ගියත් එයාට එයා හොයපු ඇස් දෙක නම් හම්බ වුණේ ම නෑ. ඒත් ඒ ඇස් දෙකයි, ඒ ඇස් දෙක අයිති කෙල්ලගේයි ඡායාවල් හිතේ ඇඳෙන එකයි නැවතුනෙත් නෑ. ඒ ජායාවල් උමo දුම් රිය පොළේ ලයිට් නිසා ඇති වෙනවා ඇති කියලා එක සිය එක් වෙනි පාරටත් හිතුනත්, ලයිට් වලින් කොහොම ද හිතේ ඡායාවල් ඇඳෙන්නෙ කියන ප්‍රශ්නෙත් ඒ පිටිපස්සෙන් ම ආපු නිසා මේ ඇස් දෙකයි, ඡායාවලුයි එකතු වෙලා මේ කොල්ලා ට කවදාවත් හිතලා වත්, ලියලාවත්, කියලාවත් ඉවර කරන්න බැරි හැඟීමක් ගෙනාවා. ඒත් ඒ හැඟීමෙන් චූට්ටක් හරි, දශමයක් හරි වචන වලට හරවන්න ඕන කියලත් එයාට ම හිතුණා. එයාගෙ කාමරේ ජනේලෙ ළඟම තිබ්බ "දිවානෝ" එකේ හාන්සි වෙලා, ඔලුව කෙලින් තියාගෙන කොළයක් අරන් "දුඹුරු කොල්ලාගෙ" අවර්ණ හිත ඇතුලෙ තිබ්බ ඡායාවල් වචන වලට හරවන්න ලොකූ උත්සාහයක් ගත්තා.




                                                                             ඡායා


තරු කැට වන් නිල් දෙනයන
කලු අහසින් මගෙ යහනට වැඩියාදෝ?
රෑ කලුවර අතරේ නුඹ සැඟවුනිදෝ?
මගේ කුමාරියේ..

තුන්යම රෑ මැදියම මම
නුඹ එනකන් එක සිහිනෙක
තනි වී සොයමින් ඔය රුව
හෙලූ සුසුම් දැනුනා දෝ?

ඡායා.. ඡායා..
ඡායා.. මගේ ආදරී
ඡායා.. මගෙ දෙව් දූ
ඡායා මගේ ආදරී..

මා මැවු සිහිනේ පෙම් මන්දිරේ
හිමිකාරියේ
බිඳ දමා කඩා සිහිනේ ඇයි ගියේ
ආදරේ ඔයාටමයි නේ කෙල්ලේ

හිරු බැස සඳු නැග එන සිත් සන්තානේ
නුඹ වෙනුවෙන් මැවූ සිහින බොඳ වී යාදෝ?
කඳුලු බිoදු සීතල වෙයි දෙව්ලිය නාමෙන්
තරු එළියේ ස්වප්නයේ, එන්න මo බලා ඉන්නම්

ලියලා ඉවර කරලා ජනේලෙන් එළිය බැලුවා ම තමයි දෙසැම්බර් මිලානෝ අහසෙ තරු නෑ කියලා එයාට මතක් වුනේ. තරු නෑ කියන්නෙ සුරoගනාවියො, දෙව්ලියො කවුරුත් ඇත්තෙත් නෑ නේද කියලා ඒත් එක්ක ම එයාට හිතුනා. තරු නෑ කියන්නෙ සුරoගනාවියො නෑ. සුර0ගනාවියො නෑ කියන්නෙ ලස්සන හීන නෑ. ලස්සන හීන නෑ කියන්නෙ අර පෙම් මන්දිර ද මොනවා ද නෑ. ඒ කියන්නෙ තියෙන්නෙ කලු ම කලු පාටයි, කොඳු ඇට හිරිවට්ටන හීතලයි විතරයි? එතකොට ඡායා? එයාගෙ ඇස්???



ඊට මාස හයකට විතර පස්සෙ කොළඹ ආර්. ඒ. ද මෙල් මාවතේ එක්තරා තැනක දි එයාට තමන් හොය හොයා හිටිය ඇස් දෙක හම්බ වුණා.

"මට ඔයාගෙ ඇස් දෙක ගන්න පුලුවන් ද? නෑ.. මo කිව්වෙ ඇස් දෙකේ ෆොටෝ එකක්"

එයා ගොත ගහා ගහා "ලොකු ඇස් දෙක" ට කිව්වා.

"ඒ මොකට ද?" ඇස් දෙක සැරෙන් ඇහුවා

"නෑ... මේ.. ඇල්බම් කවර් එකකට. මම හදපු සිoදුවක් තියෙනවා.. ඒකයි.."

"බෑ"

ඇස් දෙක ගස්සගෙන යන්න ගියා.

හරියටම ඊට මාස හයකට විතර කලින් සීත ඉර්තුවේ මිලානෝ නගරෙ දි දැනුන හැඟීම ම කොළඹ නගරෙ ගිනි ගහන අව්වෙ දිත් එයාට දැනෙන්න ගත්තා.



Categories