Tuesday, August 4, 2015

මතකය

අපි හැම කෙනෙක්ගෙ ම ජීවිත වල අපි ගොඩාක් සතුටෙන් හිටපු, ආදරේ කරපු, ජීවිතේ විඳපු අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවල් එක්ක බැඳුනු මතකයන් අපේ හිත් ඇතුලෙ තවත් දාහක් දේවල් වලට යට වෙලා අපිත් එක්ක ම ජීවත් වෙනවා. ඒ මතකයන් අපේ ඇතුලෙ ජීවත් වෙනවා කියලා අපිට දැන්නෙවත්, හිතෙන්නෙවත් නැහැ. ඒත් එකෝමත් එක දෙයක් දැක්කාම, ඇහුනා ම, පෙනුනා ම හිටි හැටියෙම අර මතකයන් ආයෙත් උඩට එනවා. අපිට එතකොට තමයි හිතෙන්නෙ "සන්තානම් මෑණියනේ, මේ ඔක්කොම මට අමතක වෙලා නෑ නේද? " කියලා.



උතුරු ඉතාලියට ගින්දර වගේ හිරු රැස් වැටෙන ගිම්හාන කාලෙ ඉවර වුණා ම එන සරත් කාලෙ මැද දවස් වෙනකොට කොළ පාටට ලස්සනට තිබ්බ ගස් ඔක්කොම කහ පාටට, එහෙමත් නැත්නම් තැඹිලි පාටට හැරෙන්න ගන්නවා. දුඹුරු පාට වේලිච්ච කොළ ගස් වලින් වැටිලා පාරවල් දිගේ හුළඟට ගසා ගෙන යන්න ගන්නවා. එහෙම හුළඟයි, වියළි කොළයි, එක්ක වැඩිය වාහන නැති අතුරු පාරක් දිගේ මම ඇවිදගෙන යනවා. එතකොට සරත් කාලෙ හැම දවසක ම සිද්ද වෙනවා වගේ පිණි වැස්සක් වැටෙන්න ගන්නවා. ඒත් එක්ක ම පොඩි හීතලකුත් දැනෙන්න ගන්නවා. එතකොට මo හීතලෙන් බේරෙන්න මම අතේ දාගෙන ආපු සැහැල්ලු ජැකට් එක දාගන්නවා. ඒ දැනෙන උණුසුමට ගල් වෙලා තියෙන මගේ සිතුවිලි ඔක්කොම දිය වෙන්න ගන්නවා.



තවදුරටත් ම ඉන්නෙ යුරෝපයෙ නොවෙයි, කොළඹ නගරෙ එක්තරා මාවතක කියලා මට දැනෙන්න ගන්නවා. කාලෙත් අවුරුදු කීපයක් අතීතෙට ගිහින් වගේ. ඒත් මේ වගේම පොද වැස්සක් තියෙනවා. සායම් ගියපු තද නිල් පාට ඩෙනිම් කලිසමකුයි, ඔඩෙල් ටීෂර්ට් එකකුයි ඇඳලා, ස්ලිපර්ස් දෙකක් දාගෙන, පොද වැස්සෙන් බේරෙන්න පාරෙ අයිනෙ තියෙන ගහක් යටට වෙලා මo ඉන්නවා. ලොකු ලොකු මෝටර් රථ, බස්, මීටර් ටැක්සි එක්ක තව දහස් ගාණක් මිනිස්සු මාව පහු කරගෙන යනවා. ඔය අතරින් එක පාරටම එයා මතු වෙනවා. කලු පාට ඔෆිස් වෙයා එකක් එයා ඇඳගෙන ඉන්නෙ. එයා ඇවිත් මට ටිකක් එහායින් නතර වෙනවා. මා දිහා බලලා ලාවට හිනා වෙනවා. ඒත් කටින් නෙවෙයි, මූනෙන්, ඇස් දෙකෙන්. මට මහා පුදුම සතුටක් දැනෙනවා...

එදා ඒ අවුරුදු ගාණකට කලින්, වැහි පොද අතරින් දැනුන සතුට අවුරුදු ගාණකට පස්සෙත් ඒ විදියටම චුට්ටක් වත් අඩු නැතිව දැනෙන්නෙ කොහොමද කියන එක නම් මට තේරෙන්නෙ නැහැ.



තව අවුරුදු ගාණක් ගිහිල්ලත්, වැහි පොද අතරින්, ඒ හිනා වෙන ඇස් මැවිලා මේ සතුටම දැනෙයි කියලා මට හිතෙනවා.


Categories