Monday, September 26, 2016

කොණ්ඩා කැරලි


තාත්තාට තිබ්බෙ ලස්සන කැරලි ගැහිච්ච කොන්ඩයක් කියලා මම දැන ගත්තේ අම්මා කියපු කතා වලිනුයි, ෆොටෝ වලිනුයි විතරයි. මුහුණ පුරාම රැවුලක් වවාගත්තු, කැරලි කොණ්ඩයක් තියෙන මනුස්සයෙක් ගලක් උඩ වාඩි වෙලා, මාස පහක හයක බබෙක් වඩාගෙන ඉන්න ෆොටෝ එකක් දිහා, හැම හවසකම ම වගේ බලාගෙන ඉන්න මම පුරුදු වෙලා හිටියා. මොකක් දෝ කියන්න දන්නෙ නැති හේතුවකට ඒ කැරලි කොණ්ඩෙයි, මම යි අතරේ මහ අරුම පුදුම බැඳීමක් ඇති වෙන්න ඇත්තෙ අන්න ඒ එක්තරා හවසක කියලායි මට හිතෙන්නෙ. කවදා හරි දවසක තාත්තා හම්බ වෙලා කොණ්ඩෙ අල්ලලා බලන්න ඕන කියන සිතුවිල්ල මගේ හිතේ කොහේ හරි අස්සක කාලයක් තිස්සේ තිබුණා. ඒත් අවුරුදු ගාණකට පස්සේ තාත්තා ව ඇත්තටම මුණගැහෙන කොට එයාට කැරලි කොණ්ඩයක් තිබ්බේ නැහැ. අපිව වෙන්කරපු අවුරුදු ගාණක කාලයට, තාත්තාගෙ කොණ්ඩ කැරලි දිගහරින්නත්, කලු පාට, අළු පාටට හරවන්නත් පුලුවන් වෙලා තිබුණා



උතුරු ඉතාලියේ, මිලානෝවේ, "රිස්තොරන්තේ දි රොමෝලෝ" කෝපි හලට හැම සවසකම නොවරදවා ම ආපු එක සිඤ්ඤෝරා කෙනෙක් හිටියා. එයා හැමදාම ඇවිල්ලා වාඩි වෙන්නෙ වීදුරු ජනේලයක් ළඟ තිබුණු එක මේසෙක. එතන වාඩි වෙලා එදා දවසෙ "කොරේරෙ දෙල්ලා සේරා" පත්තරේ කියවන ගමන් දුම් දාන "කපුචිනෝ" එකක් බොන එක එයාගෙ දවසෙ අනිවාර්ය අoගයක් වෙලා තිබුණා. වයස අවුරුදු හතලිහක් විතර වුණු, තරමක් සිහින් සිරුරක් එක්ක, මුහුණට වඩා ගොඩාක් විශාල කැරලි කොණ්ඩයක් තිබුණු එයා දිහා හැමදාම මo බැලුවෙ හොරාට හොරාට, කෝපි හලේ පොළොව පිහිදන ගමන්. ඒ සිඤ්ඤෝරාගෙ නිදහසට බාධාවක් වෙයි කියන බයෙන් ද, එහෙමත් නැත්නම් "කාප්පො" ගෙන් හරියට වැඩ කරන්නෙ නෑ කියල බැනුම් අහන්න වෙයි කියන බයෙන් ද කියලා මට හරියට හිතාගන්න අමාරුයි. හැමදාම හවස පහේ ඉඳන් මම මග බලාගෙන හිටියෙ එයාගෙ කැරලි කොණ්ඩෙ කදින්න. ඒත් එක ම එක දවසක් වත් එයත් එක්ක වචනයක් වත් කතා කරන්න, අඩුම ගානේ "බොනසේරා!" කියලා ආචාර කරන්නවත් මට හිතුනේ නැහැ. මට ඕන වුනේ ඈතින් ඉඳලා ඒ කොණ්ඩෙ දිහා බලන් ඉන්න විතරමයි. 



කොණ්ඩ කැරලි ඈතට කොච්චර ලස්සනට පෙනුනත්, අපිව පිස්සු වැට්ටුවත්, ඇත්තට ම ඒවා අතින් ඇල්ලුවා ම කැරලි දිග හැරෙන බව මම දැනගත්තෙ, "නීනා" එක්ක බර්ලින් නගරෙ, "ස්ටග්" වතුරමල ළඟ බිම හාන්සිවෙලා, හවානා සුරුට්ටු දුමෙන් පෙනහලු පුරවගෙන, එයාගෙ ලස්සන කලු කැරලි කොණ්ඩෙ අල්ලපු වෙලාවෙ. කිසිම වචනයක් කතා නොකර, සුරුට්ටු පත්තු කරගන්න විතරක් ඉරියව් වෙනස් කරමින්, එයාගෙ කොණ්ඩ කැරලි අල්ලන ගමන්, වතුරමලේ හතර අතට විසිවෙන වතුර දිහා බලාගෙන මම උත්සාහ කරේ නීනාගෙ තද කලු දිග කොලොම්බියානු කැරලි කොණ්ඩෙයි, මිලානෝවේ නම නොදන්නා සිඤ්ඤෝරාගේ තද දුඹුරු, තරමක් දිග, ඉතාලි කැරලි කොණ්ඩෙයි, පොඩි කාලේ ෆොටෝ එකෙන් දැකපු තාත්තාගේ ලාoකික කෙටි කොණ්ඩෙයි එකකට එකක් සසඳන එක. මම එයාගෙ කොණ්ඩෙ මම දකින විශේෂත්වෙ මොකක් ද කියන එක මොනයම්ම විදියකට වත් එයාට හිතාගන්න බැරි බව නීනා මට කිව්වේ සීත සෘතුවෙ අග ඉඳපු මුලු බර්ලින් නගරෙ ම බ්ලැන්කට් අස්සෙ ගුලි වෙලා හිටපු එක්තරා උදෑසනක මගේ ඇස් දිහා බලාගෙන. ඊට හරියටම සතියකට පස්සෙ අපි දෙන්නා අහස්යාත්‍රා දෙකකට නැගලා ලෝකෙ කෙලවරවල් දෙකකට පියාඹලා ගියේ වසන්ත කාලෙට බර්ලින් නගරෙ පිපෙන මල්වල රේණු සුළඟට ගසාගෙන ඇවිල්ලා නීනාගෙ කොණ්ඩෙ ඇලෙයි කියන බය නිසා. 



මගේ කොණ්ඩෙ ගොඩාක් කැරලිත් නැති, ඒත් කෙලිනුත් නැති අතරමැදි එකක් වුනේ අම්මාට කෙලින් කොණ්ඩෙකුයි, තාත්තාට කැරලි කොණ්ඩෙකුයි තිබ්බ නිසා වෙන්න ඇති කියලා මට හිතුනේ විශ්ව විද්යාලෙ එක්තරා රැස්වීමක පිටිපස්සෙ පේලියක ඉඳලා රැස්වීමෙ හිටපු කොණ්ඩෙ කැරලි තියෙන නමක් දන්නෙ නැති ගැහැණු ළමයෙක් දිහා බලාගෙන ඉන්න කොට. එයාගෙ උඩට බැඳලා තිබ්බ කැරලි කොණ්ඩෙ එක සිය එක් වෙනි පාරටත් හිතින් ලෙහලා බලලා, මo මගේ හිතට කියලා දෙන්න උත්සහ කරේ එක ම එක දෙයයි, "කොණ්ඩ කැරලි කියන්නෙ ඈතින් ඉඳන් බලලා සතුටු වෙන්න ඕන දෙයක්."

Categories