"මම" කියන්නේ වර්තමානයක් වත්, අනාගතයක් වත් නැති අතීතයක් විතරක් තියෙන නොස්ටැල්ජියානු ජීවියෙක් බව තේරුම් ගන්න මට බොහොම කාලයක් වැය කරන්න සිද්ධ වුණා. බාහිරට පෙනෙන මම සහ ඇතුලාන්තයෙ ඉන්න මම විභේදනය වෙලා ජීවිතේ එක්තරා තැනක ඇතුලාන්තයේ ඉන්න මම නවත්තලා, බාහිර මම ජීවිතෙත් එක්ක ඉස්සරහාට ගිහිල්ලා තිබුණා. අඳුරු පාට සීත කබා අස්සේ හැංගිලා, දුම් උරමින්, තොරතෝංචියක් නැතුව කතා කරමින් මැඩ්‍රිඩ් නගරෙ පටු වීදි දීගේ ඇවිදගෙන යන මිනිස්සු අතරේ අතරමං වෙනකන් ම මම හෙව්වේ ඒ මගේ ඇතුලෙ තවදුරටත් නැති මම.
කොණ්ඩෙ කැරලි ගැහුනු කෙල්ලෙක් අතින් එල්ලා ගෙන, එකිනෙකාට තුරුලු වෙලා හිනා වෙමින් පාරේ ඇවිදගෙන ගියපු ලතින් අමෙරිකානු සම්භවයක් සහිත තරුණයා ළඟත්, "කල්ලෙ මයෝර්" වීදියත්, "කල්ලෙ දෙල් රියෝ" වීදියත් එකිනෙකට මුණගැහෙන තැන පාරෙ අයිනේ ක්ලැසිකල් ගිතාරුවකින් ෆ්ලැමෙන්කෝ නාද රටා වදනය කරපු වීදි ගිටාර් වාදකයා ළඟත්, "ප්ලාසා මයොර්" චතුරස්‍රෙ පැත්තක ඉඳගෙන අශ්වයෙක් පිට නැගලා බොහොම තේජවන්ත විදියට ඉන්න "තුන්වෙනි ෆිලිපේ රජ්ජුරුවන්ගේ" ප්‍රතිමාව කැන්වස් රෙද්දක් උඩ කලු පාට පැන්සලකින් අඳිමින් උන්නු වීදි සිත්තරා ළඟත් මම හෙව්වේ, බොහොම ඉස්සර කාලෙක ජීවත් වුණු, හැමදෙයක් ම දිහා අමුතුවට බලපු, අසීමාන්තිකව ආදරය කරපු, මිනිස්සු අතරේ ජීවත් වුණු මම.
පහළොස්වෙනි, දහසය වෙනි සියවස් වල ලෝකෙන් බාගෙක අගනුවර වෙච්ච, ලෝකෙ ඈත ඉම් හොයාගෙන ගියපු නිර්භීත නාවිකයන්ගෙන්, ගවේශකයන්ගෙන් සහ කොළනි වල යටත්වැසියන්ගෙන් පිරිලා තිබුණු, ඊට පස්සේ කාලෙක ආර්ථික පරිහාණියට ලක් වෙලා එක්දාස් නවසිය තිස් ගණන් වල දරුණු සිවිල් යුද්ධෙකින් නගරෙන් වැඩි ප්‍රමාණයක් බිමට සමතලා වුණු, ඊට පස්සේ මහා දරුණු ආඤාදායක "ෆ්‍රන්චිස්කෝ ෆ්‍රන්කෝ" යටතේ අවුරුදු හතලිහක පීඩාකාරී පාලනයකින් හෙම්බත් වුණු මැඩ්‍රිඩ් නගරෙත්, මගේ ජීවිතයත් අතරෙ එක්තරා සමානකමක් මම දැක්කේ "ප්ලසා දි රමලෙස්" චතුරස්‍රෙ එළිමහන් කෝපි හලක ඉඳන් දුම් දමන කපුචිනෝ කොප්පයක් බොන අතරෙදි.