Sunday, April 22, 2018

"දුම්රිය පොළ"


මැයි මාසේ එක්තරා දවසක, මිලානෝ නගරෙට ග්‍රරීෂ්ම කාලෙ හරියටම පටන් ගන්න ඔන්න මෙන්න තිබුණු දවසක, අවුරුද්දෙ මුල්ම වතාවට සීත කබා අල්මාරි වලට දාලා වහලා සැහැල්ලු ඇඳුම් ඇඳගෙන එළියට බැහැලා වැඩට ගියපු මිනිස්සුන්ගෙන් පිරුණු "ලොරෙත්තෝ" දුම් රිය නැවතුම්පොළේ, ඒ තරම් කාර්යබහුල නැති, මගී ආසන බංකුවක එකම එක වයසක සිඤ්ඤෝරා කෙනෙක් විතරක් දුම් රියක් එනතුරු වාඩි වෙලා බලාගෙන හිටපු වේදිකාවක අපි එකිනෙකා වැළඳගත්තේ ඒ තරම් තද ග්‍රහනයක් නැතිව. වචන වලින් වත්, හැඟීම් වලින් වත්, අංග චලන වලින් වත් මොනයම්ම ආකාරයක හරි සන්නිවේදනයක් නැතුව ගත වුණු මිනිත්තු දෙකහමාරකට පස්සේ "සෙස්තෝ මාජ්ජෝ" දිශාවට ධාවනය වුණු මෙත්‍රො දුම්‍රියක වැසුනු දොරක වීදුරු කවුලුවකින් මා දෙස බලා හිඳපු ඇය, දුම් රිය වේදිකාවේ ඉතිරි වුණු මගේ මුහුණේ තිබුණු හැඟීම තේරුම් ගන්න බොහෝ උත්සාහ ගත්තත්, බොහෝ කාලයක් ගතවෙන තුරු කිසිවක් තේරුම් ගන්න බැරි වුණ බව, මට ලියන්න තව මාස ගණනාවක් ඇයට ගත වුණා. සැතපුම් දහස් ගණනකුත්, එක දිගට ගෙවුනු අළු පාට සීත සෘතු ගණනාවකිනුත් වෙන් වුණු අපි අතරේ ලිහිල් වැළඳ ගැනීමක උණුසුමේ මතකය අන්තිමටම එකතු වුණා.


ජූලි මාසේ එක්තරා ඉරිදාවක, හවස හතරට හික්කඩුවෙන් පිටත් වෙන දුම් රියේ, විශාල ගමන් මලු කර ගහගත්තු විදේශිකයන්ගෙන් පිරුණු දුම් රිය මැදිරියක ජනේලයකින් පිටත බලාගෙන මම අත වැනුවේ හැමදාමත් වගේ මාව ඇරලවන්න දුම් රිය පොළට අවිල්ල ඉඳපු අම්මා දිහා බලාගෙන. කොළ පාට හරහට ඉරි තියෙන සුදු පාට හැට්ටයකුත්, කළු පාට සායකුත් ඇඳලා ගිගී ෂූස් සේල් එකකින් ලාබෙට ගතපු සෙරෙප්පු දෙකක් දාගෙන, ඇගේ ඇස් වලින් හිනාවෙමින්, හැමදාම වගේ මාව නොපෙනී යනකන් ම ඇය මට අතවපු බව මට කල්පනා වුණේ ඊට දවස් දහයකට පස්සේ රෝහල් ඇඳක් උඩ, හැම අතට ම සවි කරපු යන්ත්‍ර ආධාරයෙන් හුස්ම ගනිමින් ඉඳපු අඩක් ප්‍රාණය නිරුද්ධ ඇගේ අතක් අල්ලාගෙන, ඇගේ රෝහල් ඇඳට ඉස්සරහින් තිබුණු සුදු බිත්තිය දිහා බලාගෙන ඉන්නකොට. ජීවිත කාලයක් ම විඳපු ඇගේ හුරුපුරුදු උණුහුම ඒ මොහොතෙත් ඇගේ අතින් අල්ලාගෙන ඉඳපු මගේ අතේ ස්නායූ රුධිර නාළිකා හරහා ඇවිත් හදවතටම දැණුන බව මම පස්සේ කාලෙක දිනපොතක ලිව්වා. ජීවිතයකිනුත් මරණයකිනුත් වෙන්වුනු අම්මාත් මමත් අතරෙ අවසාන වතාවට දැණුනු ඇගේ ස්පර්ශයේ උණුසුම අපේ අවසාන මතකය විදියට එකතු වුණා.


දෙසැම්බර් මාසේ සීතලම අඳුරු දවසක, බර්ලින් නගරේ "ඔස්ට් බානොෆ්" දුම් රිය වේදිකාවේ බංකුවක වාඩි වෙලා, එහාට මෙහාට යන දුම් රිය දිහා මම බලාගෙන හිටියේ කිසිම අරමුණක් නැතුව. කලු පාට සීත කබා ඇඳගෙන දුම් රිය වේදිකාවේ එහාට මෙහාට ගියපු මිනිස්සු අතරේ වත්, දුම් රිය ජනේල වලින් එළිය බලාගෙන ගියපු මිනිස්සු අතරේ වත් මම දකින්න බලාපොරොත්තු වුණ කිසිම මුහුණක් දැකගන්න මට පුලුවන් වුණේ නැහැ.  ආගන්තුක මිනිස්සු අතරේ තමන්ට නැති වුණ, තමන්ට ම හොයාගන්න බැරි වෙලා තියෙන, තමන් ව හොයන්න උත්සාහ කරන එක තේරුමක් නැති වැඩක් කියන එක මට ම තේරුම් කරගන්න, දුම්කොළ සුවඳ තැවරුන මගේ අත් එකිනෙකට පිරිමදිමින් උණුසුම් වෙන්න උත්සාහ කරන අතරේ මම උත්සාහ කරා.

Categories