Sunday, September 22, 2019

"සංවාදය"



මම උදේ දහයයි කාලට මරදානෙන් මාතරට යන "රජරට රැජිණ" කෝච්චියට, සති දෙකකට සැරයක් වගේ එන සෙනසුරාදාවල් වල, හික්කඩුවට යන්න ගොඩ වෙනවා. සති අන්තේ නිසා ගෙවල් වල යන මිනිස්සු වගේම, විශාල ගමන් මලුත් එක්ක විදේශිකයින්ගෙනුත් කොච්චි‍ය සාමාන්‍යෙන් පිරිලා තියෙනවා. ඒ වගේම අතරින් පතර සති අන්තෙට ගෙදර යන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවොත් කිහිප දෙනෙක් හැමදාම කෝච්චියේ ඉන්නවා. කැම්පස් එකේ නම තියෙන ටීෂර්ට් එකක් ඇඳලා, බාටා දෙකක් දාලා, කොන්ඩේ උඩට කරලා බැඳලා, ලැප්ටොප් බෑග් එකක් අතේ තියන් ඉන්න නිසා ඒ අය දුර තියලා ම මට නෝට් වෙනවා. මෙන්න මේ වගේ එක්තරා සෙනසුරාදාවක මීට කලින් දැකලා නැති "විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්" කෝච්චියේ ඉන්නවා කියලා මට පේනවා. එයාගෙ දිගැටි නහයත්, සිහින් ඇස් දෙකත්, කෝච්චියේ ජනේලෙන් එළිය බලාගෙන ඉන්න මට, අතරින් පතර පෙනිලා නොපෙනිලා යන මුහුදේ සුදු පෙණ රැලි වගේ  මැවිලා පෙනෙන්න ගත්තාට පස්සේ, ගිහිල්ලා කතා කරනවා ද, නැද්ද කියන සිතිවිලි දෙකෙන් පලවෙනි එක ඉස්සර වෙනවා. මම හෙමින් සීරුවේ ඇගේ ළඟට කිට්ටු වෙලා, ඈත් එක්ක සාංවාදයක් පටන් ගන්නවා. හැම කතාවකම වගේ මුල් මිනිත්තු කිහිපය බොහොම සිනාමුසු මුහුණින් ආ ගිය තොරතුරු, විශ්ව විද්‍යාලෙ විස්තර වලට වෙන් වෙනවා. ඒත් මේ වර්ගයේ හැම සංවාදෙකම ඈ කොතනක හරි මගෙන් මෙහෙම අහනවා. "ආනේ! ඔයාගේ නම අස්වින්ද ද? හොඳට අහලා පුරුදු නමක් නේ. ඔයා ඉස්සර ඒ ලෙවල් කාලේ අපේ ඉස්කෝලේ "තරුෂි" කියලා ගර්ල් කෙනෙක් එක්ක යාලු වෙලා හිටියා නේ ද? මට මතකයි යාලුවෝ ඉස්සර ඔයා ගැන කතා වෙනවා. ඔයා අර කොහෙදි හරි සින්දුවක් කිව්වා නේද?.."



මම ටින්ඩර් පාවිච්චි කරනවා. ඉඳලා හිටලා මට කෙල්ලෙක් මැච් වෙනවා. ඒ මැචස් අතරිනුත් චැට් කරන්නේ කිහිප දෙනෙක් විතරයි. ඔය සමහර චැට් සමහර වෙලාවට "ලෙට්ස් හෑව් අ කොෆී ඇන්ඩ් ටෝක්" කියන තැනකට යනවා. ඉතින් සමහර හවස් වරු වල මම කොළඹ නගරේ තියෙන "කොෆී බීන්", "ඒ කැෆේ","බරිස්තා" වගේ කෝපි හලක දෙදෙනෙකුට වාඩි වෙන්න පුලුවන් කුඩා මේසෙක, කපුචිනෝ කෝප්පයක් ඇනවුම් කරලා පොතක පිටු කිහිපයක් පෙරළමින් "ටින්ඩර් ඩේට්" එක එනකන් බලන් ඉන්නවා. කපුචිනෝ කොප්පේන් බාග‍යක් හිස් වෙනකොට, විනාඩි කිහිපයක් පරක්කු වුණු ඇයත් එක්ක, කොළඹ නගරේ ජීවිතයත්, බටහිර රටක ගෙවන ජීවිතයත් සන්සන්දනය කරන සංවාදෙක යෙදිලා ඉන්නවා. කොළඹ නගරෙ ටින්ඩර් යූස් කරන බොහොමයක් දෙනා විදේශ රටක ජීවත් වෙන, නිවාඩුවට ලංකාවට එන දුඹුරු කෙල්ලන් නිසා මේ මාතෘකාව බොහොමයක් වෙලා ඇදිලා යනවා. චිත්‍රපටි, මාලා නාටක, විවිධ සංගීත වර්ග වගේ මාතෘකා කිහිපකෙට පස්සේ අපි අපේ යාලුවෝ ගැන කතා කරන්න ගන්නවා. කොළඹ කෙල්ලෙක් "ටින්ඩර් ඩේට්" එකක් එන්න කල්න් හොඳ බැක්ග්‍රවුඩ් රිසර්ච් එකක් කරන බව දන්නා නිසා, එයා ඒ ප්‍රශ්නේ කොයි මොහොතක හරි අහන බව මගේ හිත කියනවා. කෝපි කෝප්පේ ඉවර වෙන්න කලින් ඈ මෙහෙම අහනවා.  "So, are you still dating the Musaeite"? 



"මිලානෝ ආස්සාගෝ ෆෝරම්" දුම්රිය පොළට උදේ අටයි හතලිස් දෙකට ළඟා වෙන දුම් රියෙන්, හැමදාම මම වගේ ම, ඇයත් එනවා. දුම්රිය පොළ, ළඟ තියෙන  බස් නැවතුමෙන්, උදේ අටයි පනහට පිටත් වෙන, අංක තුන්සිය විසිඅට බස් එක එනකන් ඈ එහා මෙහා ඇවිද ඇවිද ඉන්නවා දුම්වැටියකුත් පත්තු කරගෙන මම බලං ඉන්නවා. අටයි පනස් හත වෙන කොට, "වියා මුචිනේසියෝ" නැවතුමෙන් 328 බස් එකෙන් බැහැලා මම ඔෆිස් එකට දුවනවා.  ඇයත්, මාත් එක්කම බස් එකෙන් බැහැලා එකම වීදියේ අනික් දිශාවේ තියෙන ඇගේ කාර්යාලෙට ඇවිදගෙන යනවා. මම ආපහු දවල් එකහමාරට විතර, කෑම වෙලාවට ළඟ තියෙන "පිසේරියා" එකකින් පීසා කෑල්ලක් කාලා තවත් වෙලාව ඉතිරි නිසා ඒ ළඟම තියෙන කුඩා උද්‍යානෙට යනවා. ඒ වෙනකොට ඈ පොතක් කියවමින්, බංකුවක වාඩි වෙලා ඉන්නවා. මම දුම් වැටියක් පත්තු කරගෙන ඊට ටිකක් එහාට වෙන්න තියෙන බංකුවක වාඩි වෙලා, එදා දවසෙ "කොරේරෙ දෙල්ලා සේරා" පත්තරේ කියවන්න ගන්නවා. කවදාවත් පටන් ගත්තේ නැති සංවාදයක්, මොනම විදියකටවත් ඉවර වෙන්න බැරි බව, මම හිතින් හිතනවා.

Sunday, July 21, 2019

මගේ විඩාව


මට ඇය ව මුණගැහුනෙ හරියටම අවුරුදු තුනකට පස්සේ. ඇගෙන් අවසාන වතාවට සමුගත්තු ලොරේතො දුම්රිය පොළේ බංකුවක මම ඇය එනතුරු වාඩි වෙලා හිටියා. ඒ වෙනකොට හවස වැඩ ඉවර වෙලා ගෙදර යන මිනිස්සු බහුතරයක් ගෙවල් වලට ගිහිල්ලා තිබුණු නිසා දුඹුරු පාට කෝට් එකක් ඇඳුපු වයසක මහත්මයෙක් විතරක් මට අඩි කිහිපයක් එහායින් දුම්රිය වේදිකාවේ ඒ මේ අත පරිස්සමින් අඩි තියමින් සක්මන් කරා. පහුගිය කාලෙ පුරාවටම මමත් කරේ බිම ඇදගෙන වැටෙනවාට බයෙන් පරිස්සමෙන් අඩි තියමින්, කිසිම අරමුණක් නැතුව ඇවිදපු එක කියලා මට කල්පනා වුණා. මුළු දුම්රිය වේදිකාව පුරාම සක්මන් කළත්, වයසක මහත්මයාට මේ වේදිකාවෙන් ම දුම් රියට ගොඩ වෙන්න සිද්ධවෙනවා වගේ ම මුලු ලෝකෙ පුරාම ඉබා ගාතේ ඇවිද්දත්, මමත් අන්තිමට ඇවිල්ලා නතර වෙලා තිබුණේ පටන් ගත්ත තැනමයි. 



අපේ අම්මා කියපු විදියට ඔලුවේ රාහු හිටපු නිසා දෝ කොහෙද, අවුරුදු තුන පුරාවට ම මම කිසිම අරමුණක් නැතුව එහේ මෙහේ ඇවිද්දා. කොළඹ නගරේ, මාර ගස් වලින් සෙවණ වෙලා තියෙන පාරවල් දිගේ ඔහේ ඇවිදගෙන ගියා. බර අඩි තියලා, උජාරුවෙන් ඇවිදින නෝනලාව බිම බලාගෙන පහු කරා. මත්පැන් වඩි කිහිපයකට පස්සේ දෙහිවල වෙරලෙ බිම් තඹරු වැල් උඩ හාන්සි වෙලා මළානික අහසෙ තරු දිහා බලන් හිටියා. ඒ වෙලාවෙ මුහුදෙ රැළ බිඳෙන සද්දෙවත්, සැර හුළඟට ගොඩ බිම පැත්තට නැවිලා තියෙන පොල් ගස් වල අතු සර සර ගාන සද්දෙවත් මට ඇහුනෙ නැත්තේ ඒ වෙලාවෙත් මම හිතෙන් ඒ තරු අතරෙ ඇවිද ඇවිද හිටපු නිසා. 

මේ අවුරුදු තුනට කලිනුත් මගේ ජීවිතේ වැඩි කාලයක් ගත වුණේ, කිසිම අරමුණක් නැතුව එහේ මෙහේ ඇවිදින්න තමයි කියන එක මට කල්පනා වුණත්, ඒ අතරින් ම, ඒ ඇවිදිල්ලයි, මේ ඇවිදිල්ලයි අතරේ ලොකු වෙනසක් තිබුණ බව මම දැනගෙන හිටියා. ඉස්සර කාලේ, ඇවිදලා ඇවිදලා හති වැටුණා ම මම සයිකලයක් පැදගෙන හරි, කෝච්චියක නැගලා හරි, ගුවන් යානෙක නැගලා හරි හික්කඩුවට ගියා. ඒත් මේ අවුරුදු තුන ඇතුළෙ දි කොච්චරවත් බම්බලපිටියේ ඉස්ටේෂමෙන් ගාල්ල පැත්තට යන කෝච්චි පිටත් වුණත්, ඒ එකකට වත් කාලය හරහා ගමන් කරලා "මගේ හික්කඩුවට" මාව අරන් යන්න බැරි බව දැනගෙන හිටපු නිසා මම ඒ මහන්සිය පපුව ඇතුලෙම පුච්චලා දැම්මා. ඒ පිච්චිච්ච දුම මගේ නාස් පුඩු වලින් එළියට ඇවිල්ලා, අහසේ අලුපාට වළාකුළු අතරේ නොපෙනී ගියා. ඒක නිසා මගේ ඇවිදිල්ලෙන් ඇඟට දැනෙන මහන්සියක් මගේ ළඟ ඉතිරි වුණේ නැහැ.



මම කල්පනා කර කර ඉන්න අතරේම, හෙමින් ගමනින් ආපු දුම්රියක්, ලොරේතො දුම් රිය පොළේ නතර වුණා. වයසක මහත්තයා පරිස්සම් අඩියෙන් දුම් රියයි, වේදිකාවයි අතරේ තියෙන පඩිය නැගලා දුම් රියට ගොඩ වුනා. මම හිටපු බංකුවට ඈතින් දුම් රියේ අනික් කෙළවරින් මම අවුරුදු තුනක් බලං ඉඳපු රුව මතු වුණා. දුම් රිය මැදිරි කවුලුවේ වීදුරුවෙන් මට මගේ ඡායාව පෙනෙන්න ගත්තා. මගේ ඇස් ටිකක් යටට ගිලිලා ඇස් යට අඳුරු පැහැයට හැරිල තිබුණා. මුහුණේ ඉරි ඇඳිලා, විඩාබර පෙනුමක් තිබුණා. ඇස් වල මළානික පෙනුමක් එක්ක, රතට හුරු අඳුරක් තිබුණා. අවුරුදු තුනක් තිස්සේ මට නොදැනුන මහන්සිය, මට එකපාරට ම දැනෙන්න පටන් ගත්තා.   

Tuesday, January 22, 2019

"ගල් හදවත"


මම විශ්ව විද්‍යාලේ කැන්ටිමේ හැමදාම හවසට තැඹිලි පාට පුටුවක වාඩි වෙලා, බොහොම පොඩි විනිවිද පේන වීදුරු මග් එකක දෙන සීනි වැඩි ප්ලේන්ටිය බොන අතරේ හැම තත්පර දහයකට ම සැර‍යක්, මහා නුග ගහ නිසා වංගු ගැහුනු පාරේ කෙළවර දිහා බැලුවා. හවසට ලෙක්චර්ස් ඉවර වෙලා,බස් එක, කෝච්චිය අල්ල ගන්න ඉක්මන් ගමනින් යන සිය ගණනක් මුහුණු අතරේ සමහර දවස් වලට විතරක් මම දකින්න බලාපොරොත්තු වුණ දේ දකින්න පුලුවන් වුණා. හරියට පීරුවේ නැති, පොකුටු කොණ්ඩේ පොඩි පෝනි ටේල් එකක් බැඳලා, ලොකු කොටු තියෙන, අත් වැලිමිට ළඟට වෙනකන් නවපු, අත් දිග චෙක් ශර්ට් එකක් ඇඳලා, ලැප්ටොප් බෑග් එකක් පැත්තකින් එල්ලාගෙන, තමන්ගේ පෙම්වතාගේ අතේ එල්ලිලා, තොරතෝන්චියක් නැතුව හිනා වෙවී, කතා කරමින් යන ඈ, සමහර දවස් වලට විතරක් නුග ගහ ළඟ වංගුවෙන් මතු වුණා. හරියට පීරුවේ නැති, පොකුටු කොණ්ඩේ පොඩි පෝනි ටේල් එකක් බැඳලා, ලොකු කොටු තියෙන, අත් වැලිමිට ළඟට වෙනකන් නවපු, අත් දිග චෙක් ශර්ට් එකක් ඇඳලා, ලැප්ටොප් බෑග් එකක් පැත්තකින් එල්ලාගෙන, තමන්ගේ පෙම්වතාගේ අතේ එල්ලිලා, තොරතෝන්චියක් නැතුව හිනා වෙවී, කතා කරමින් යන ඈ, සමහර දවස් වලට විතරක් නුග ගහ ළඟ වංගුවෙන් මතු වුණා. "අද අපේ ඉස්කෝලෙට දේශනයක් කරන්න විශ්ව විද්‍යාලෙන් සර් කෙනෙක් ආවා. ඉස්සර නම් විශ්ව විද්‍යාලේ ගොඩාක් ජෝඩු එහේ මෙහා යනවා, ඒත් දැන් නම් එච්චර දකින්න නැහැ. දැන් ඒ ළමයි තමන්ගේ ගම් වලින් ම කවුරු හරි හොයා ගෙන ඇති. ඒක අහලා මට හරියට දුක හිතුනා, මට කැම්පස් යන්න බැරි වෙයි කියලා." ඊට අවුරුදු නවයකට කලින්, කොණ්ඩේ පෝනිටේල් එකක් බඳින්න තරම් වැවිලා නැති කාලේ ඈ මට කියපු හැටි, වීදුරු මග් එකේ පතුලෙ ඉතිරි වෙච්ච දිය නොවුනු සීනි කැට දිහා බලාගෙන මම කල්පනා කරා.



මරදානෙන් පහයි පනස් පහට මාතර යන කෝච්චිය, ගොඩාක් ස්ටේෂන් වල නවත්වන නිසාත්, ඒ හැම ස්ටේෂන් එකකින් ම ඔෆිස් ඇරිලා ගෙදර යන මිනිස්සු පොදියක් බහින නිසාත්, හික්කඩුවට යනකොට ගොඩාක් දවස් වලට නවයට කිට්ටු වෙනවා. ඒකෙ ගිහිල්ලා, හික්කඩුවේ හන්දියෙන් ත්‍රී වීලරයකුත් කතා කරගෙන අවුරුදු දහයකට විතර කලින්, නගර සභාවෙන් කොමිස් ගහලා සිමෙන්ති අඩුවෙන් දාලා කොන්ක්‍රීට් කරපු, දැන් වළගොඩැලි පිරිලා තියේන අපේ පාරේ ගිහිල්ලා ගෙදර ළඟින් බහින්න තවත් පැය බාගයක් විතර යනවා. "ගෙදර වහලා තියෙන නිසා හරියට දූවිලි ඇති නේ ද මල්ලි?" ත්‍රීවීල් අය්යා හැමදාමත් අහනවා. අමාරුවෙන් බෑග් එක ඇතුළට අත දාලා, යතුර හොයාගෙන පැත්තට තල්ලු කරන ගේට්ටුව අරිනකොට, ගේ ඉස්සරහ ලයිට් කණුවේ, ලයිට් එකේ මළාණික එළියෙන් මුලු වැරැන්ඩාව පුරා ම වියළි කොළ විසිරිලා තියෙන හැටිත්, මිදුළේ දණහිස තරම් උසට වල් පැළ වැවිලා තියෙන හැටිත් පේන්න ගන්නවා. කාලා, නාලා තවත් පැයකට විතර පස්සේ "මාර්ල්බොරෝ ලයිට්" පැක් එකකුයි, ඈෂ් ට්‍රේ එකට හිස් පොල්කට්ටකුයි හොයාගෙන, ලයිට් ඔක්කොම ඕෆ් කරලා දොරකඩ පඩියෙන් මම වාඩි වෙනවා. ඒ වෙලාවට නිදි ගැට කඩලා පුංචි පූස් මගේ ළඟට ඇවිල්ලා කකුලේ දැවටෙන්න ගන්නවා. අපේ අම්මා නම දාපු පුංචි පූස් බොහෝම කාලෙකට ඉස්සර නැති වුණු බවත්, මේ ඉන්නේ ඒ පුංචි පූස් ගේ මුණුබුරෙක් හරි, මීමුණුබුරෙක් හරි බවත් අමතක කරලා මම ඌට පුංචි පූස් කියලා කතා කරනවා.



මහා සිතාර් වාදක රවි ශංකර් ගේ දුව, අනුශ්කා ශංකර් ගේ "Traces of you" ඇල්බමයේ "මොන්සූන්" සංගීත ඛණ්ඩය මම මුල් ම පාරට ඇහුවේ වියානා නගරේ "නො‍යිශ්ටිෆ්ට්ගස වීදියේ" "නට්රාජ්" ඉන්දියානු අවන්හලේ උස වීදුරු ජනේලයක් අයිනේ වාඩි වෙලා චිකන් ටික්කා මසාලා හොදි වල තවරා ගෙන නාන් රොටි කන අතරෙදි. දහදියෙන් හෙම්බත් වෙලා ඉන්න මුම්බායි නගරයට මෝසම් වරුසාව ආරම්භ කරමින්, හුළඟට විසි වෙන වැහි පොද වැටෙන්න පටන් ගන්න හැටි අනුෂ්කාගේ සිතාර් තත් වල හඬ අතරින් මට හරියටම දැනුනා. හරියට මෝසම් වැස්ස ඒ ජූලි මාසේ වියානා නගරෙට ආවා වගේ. දෙවෙනි පාරට "මොන්සූන්" ඇහෙනකොට මම හිටියේ දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළේ, මගේ ගුවන් යානය පරක්කු වෙච්චි නිසා එහාට මෙහාට ඇවිදිමින්, නිදිමත නැති කරගන්න උත්සාහ කරමින්. නම නොදන්නා දිල්ලියේ ගුවන්විදුලි නාළිකාවක සංගීත වැඩසටහනක, මම නොදන්නා සිතාර් වදකයෙක් වාදනය කරපු නිසා දෝ වියානාවේ දී වගේ පළවෙනි මෝසම් වරුසාවේ වැහිබිඳු වැටෙන විදිය මගේ අත් වලට දැනුනේ නෑ.  "අස්වින්ද, ඔයාට තියෙන්නේ ගල් හදවතක්, ඒකට කිසිම හැඟීමක් දැනෙන්නේ නෑ." මට එවපු අන්තිම කෙටි පණිවිඩයේ ඈ එහෙම ලියා තිබුණා.

Categories