මේ අවුරුදු තුනට කලිනුත් මගේ ජීවිතේ වැඩි කාලයක් ගත වුණේ, කිසිම අරමුණක් නැතුව එහේ මෙහේ ඇවිදින්න තමයි කියන එක මට කල්පනා වුණත්, ඒ අතරින් ම, ඒ ඇවිදිල්ලයි, මේ ඇවිදිල්ලයි අතරේ ලොකු වෙනසක් තිබුණ බව මම දැනගෙන හිටියා. ඉස්සර කාලේ, ඇවිදලා ඇවිදලා හති වැටුණා ම මම සයිකලයක් පැදගෙන හරි, කෝච්චියක නැගලා හරි, ගුවන් යානෙක නැගලා හරි හික්කඩුවට ගියා. ඒත් මේ අවුරුදු තුන ඇතුළෙ දි කොච්චරවත් බම්බලපිටියේ ඉස්ටේෂමෙන් ගාල්ල පැත්තට යන කෝච්චි පිටත් වුණත්, ඒ එකකට වත් කාලය හරහා ගමන් කරලා "මගේ හික්කඩුවට" මාව අරන් යන්න බැරි බව දැනගෙන හිටපු නිසා මම ඒ මහන්සිය පපුව ඇතුලෙම පුච්චලා දැම්මා. ඒ පිච්චිච්ච දුම මගේ නාස් පුඩු වලින් එළියට ඇවිල්ලා, අහසේ අලුපාට වළාකුළු අතරේ නොපෙනී ගියා. ඒක නිසා මගේ ඇවිදිල්ලෙන් ඇඟට දැනෙන මහන්සියක් මගේ ළඟ ඉතිරි වුණේ නැහැ.
මම කල්පනා කර කර ඉන්න අතරේම, හෙමින් ගමනින් ආපු දුම්රියක්, ලොරේතො දුම් රිය පොළේ නතර වුණා. වයසක මහත්තයා පරිස්සම් අඩියෙන් දුම් රියයි, වේදිකාවයි අතරේ තියෙන පඩිය නැගලා දුම් රියට ගොඩ වුනා. මම හිටපු බංකුවට ඈතින් දුම් රියේ අනික් කෙළවරින් මම අවුරුදු තුනක් බලං ඉඳපු රුව මතු වුණා. දුම් රිය මැදිරි කවුලුවේ වීදුරුවෙන් මට මගේ ඡායාව පෙනෙන්න ගත්තා. මගේ ඇස් ටිකක් යටට ගිලිලා ඇස් යට අඳුරු පැහැයට හැරිල තිබුණා. මුහුණේ ඉරි ඇඳිලා, විඩාබර පෙනුමක් තිබුණා. ඇස් වල මළානික පෙනුමක් එක්ක, රතට හුරු අඳුරක් තිබුණා. අවුරුදු තුනක් තිස්සේ මට නොදැනුන මහන්සිය, මට එකපාරට ම දැනෙන්න පටන් ගත්තා.
3 comments :
"Mage hikkaduwa" it made me sad ...good one brother
I was referring the wrong URL and just found its no more RADICALASWINDA. anyways. Anyways and always will find a way to read.☺️
Broo.. Touched.
Post a Comment