Sunday, July 12, 2020

රැවටීම

අපේ තාත්තා, මට මතක ඇති කාලෙක ඉඳලා ම මට උගන්නලා තිබ්බේ එයා දවසක ප්ලේන් එකක නැගලා වළාකුළු වලට උඩින් වෙනත් රටකට යනවා ය, ඊට පස්සෙ හරි‍යටම මාස දෙකකින් සෙල්ලම් බඩු මහා ගොඩකුයි, ටොපි චොකලට් මහා ගොඩකුයි අරගෙන හරි‍යටම මාස දෙකකින් ආපහු එනවා ය කියලා. ඉතින් තාත්තේ ඔය ඔක්කොම දේවල් එකතු කරගන්න මාසෙකින් බැරි වෙයි ද කියලා අහපු හැම වෙලාවේ ම මාස දෙක, මාස එකහමාරකට වගේ අඩු කරගන්න එයා එකඟ වුණා. ඉතින් අන්තිමට, අවුරුදු ගාණක් එම්බසි ගානෙයි, එක එක ඒජන්සි ගානෙයි ගිහිල්ලා එයා අන්තිමට ඇත්තටම රට යන දවස ආවාම, එයා යන එක ගැන කිසිම දුකක් මට නම් තිබ්බේ නැහැ. මගේ හිතේ තිබ්බේම, තව මාස දෙකකින් මට හම්බ වෙන "බැකෝ, ටිපර්, කැටපිලර්" වලින් ගල් කොරියක් දාලා ගල් අදින්නයි, මිදුල පුරාම පස් කපන්නයි, අල්ලපු ගෙවල් වල කිසිම ළමයෙක්ට ඒ කිසිම එකක් අල්ලන්නවත් නොදී තනියම සෙල්ලම් කරන්නයි විතරයි. එක දවසක රෑ අපේ පවුලේ ඔක්කොමයි, අල්ලපු ගෙවල් වලයි, දන්න කියන හැමෝමයි වෑන් එකක නැගලා මහ රෑ එයාපෝට් ගියා තාත්තාව බස්සලා එන්න. ඒ ළඟම දවසක එයාපෝට් එකට කොටි ගහලා තිබ්බ නිසා සෑහෙන චෙක්පොයින්ට් ගානක් පහු කරනවාත්, ඒ හැම චෙක්පොයින්ට් එකකින් ම හමුදා මිනිස්සු වෑන් එක ඇතුළට ටෝච් ගහලා බලනවාත්, වෑන් එක ඇතුලේ නින්දත් නොනින්දත් අතරේ හිටපු මට මතකයි.




අපි ඔක්කෝමලා ව වෙන වෙන ම බදාගෙන ඉඹලා, පිටකොටුවෙන් ගත්තු ලොකු බෑග් දෙක රෝද කරත්තෙක තියලා තල්ලු කරගෙන, තාත්තා එයාපෝට් එකේ මහා කලබලේ ඇතුළෙ නොපෙනී ගියාට පස්සේ අපි ඔක්කොම එතනම ළඟ තිබුණු මහා විසාල සාලාවකට ගියා ප්ලේන් එක යන හැටි බලන්න. පඩි පේළි, පේළි තිබ්බ ඒ සාලාවේ බිම වාඩි වෙලා, බුදියගෙන, හිටගෙන මහ හුඟාක් මිනිස්සුත්, ළමයිත් හිටියා. ප්ලේන් නවත්තලා තියෙන හැටි, බස් වලින් මිනිස්සු ගේන හැටි, බාගෙ ලොරියක පිටිපස්සට ඉනිමගක් හයි කරලා ප්ලේන් එකට සෙට් කරලා ඒක දිගේ මිනිස්සු ප්ලේන් එකෙන් බහින හැටි ජීවිතේ පලවෙනි පාරට දැක්ක මම, දැල් ගහපු වැටේ එල්ලිලා පැය ගාණක් වශී වෙලා වගේ බලාගෙන හිටියා. තාත්තා යන්නේ මේකෙ වෙන්න ඇති, අරකේ වෙන්න ඇති කිය කියා එක එක ප්ලේන් දිහාවට ඇඟිලි දික් කර කර අපි බලන් හිටියා. ඒ හැම ප්ලේන් එකක් ම බිම දිගේ හෙමීට යන්න පටන් අරන්, ඊට පස්සේ මහා හුඟාක් වේගෙන් ගිහින්, එක පාරටම ඉස්සිලා, කුරුල්ලෙක් වගේ ටික ටික උඩ ගිහින් නොපෙනී යනකොට, හිත පිරිලා ගිය මහා පුදුමයත් එක්ක ම අම්මාගේ ඇස් වල කඳුලු තියෙනවා නේද කියලාත් මට හිතුනා. ඒත් ඒ වගේ වෙලාවක අඬන්නේ ඇයි කියලා මට නම් හිතාගන්න පුළුවන් වුණේ නැහැ. සෙල්ලම් බඩු, චොකලට් ප්ලේන් අස්සේ කඳුළු වලට කොහෙන්ද ඉඩක්? රට යනවා කියන එක කොළඹ යනවා වගේ වැඩක් කියලයි මම හිතාගෙන හිටියේ. තාත්තා කොහොමත් එක එක වැඩ වලට උදේ කෝච්චියේ ගිහිල්ලා, පිටකොටුවෙන් සෙල්ලම් බඩු අරගෙන හවසට ගෙදර එන නිසා මේකෙත් ලොකු වෙනසක් මට පෙනුනේ නැහැ. 




ඊට ගෙදර ඇවිල්ලා දවස් ගානක් ම යනකන් මම කරේ හාෆ් ශීට් කොළ බන්ඩ්ල් එකක් ඉවර වෙනකන් ම එදා දැකපු දේවල් වලින් චිත්‍ර ඇඳපු එක. එක එක විදියට ප්ලේන් වල චිත්‍ර ඇන්දේ මාස දෙකකින් තාත්තා ආවම එයාට පෙන්නන්න. ඒත් දින, සති, මාස අවුරුදු ගනන් ගෙවිලා ගියත් තාත්තා ආවේ නැහැ. ටිකෙන් ටික කාලෙ ගතවෙනකොට, එදා දවස ගැන මතක් කරන කොට මහා විසාල ප්ලේනුයි, ඒවා දැකලා ඇති වෙච්ච පුදුමෙයි අමතක වෙලා, අම්මගේ කඳුලු විතරක් මහා විසාලෙට මතකෙ ඉතිරි වෙන්න පටන් ගත්තා. චිත්‍ර අඳින එකත් මට ටිකෙන් ටික එපා වුණා. චිත්‍ර පැත්තකට දාලා ඉස්කෝලෙදි මම සංගීතෙ කරන්න පටන් ගත්තා.අන්තිමේ අවුරුදු ගාණකට පස්සේ තාත්තා එන කොට මම සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරන වයස පහු කරලා තිබ්බා. ටොපි, චොකලට් වලට තව දුරටත් ආසාවක් තිබ්බෙ නෑ. එයා ගෙනාපු කිසිම දෙයක් මම ඇල්ලුවේ නෑ. කොටින් ම තාත්තා ගැන ඒ වෙනකොට තිබ්බේ ඡායවක් වගේ මතකයක්. ප්ලේන් එකේ නැගලා ගියපු මනුස්සයයි, අවුරුදු ගාණකට පස්සේ ආපු මනුස්සයයි අතරේ ලොකු සම්බන්ධයක් මට පෙනුනේ නැහැ. ඒ අවුරුදු ගාණෙම මට දැනුන, හිස්කමයි, දුකයි එක්ක එකතු වෙලා තිබ්බ හැඟීමට කියන්නෙ "රැවටීම" කියලා ඒ වෙනකොට මම දැනගෙන හිටියේ නැහැ.




අයිශ්වරී මට හමබ්වුණේ මට අවුරුදු දහසයෙදි. එතකොට මම තාත්තා ඇතිකරලා තිබුණු හිස් අවකාශයට හුරු වෙමින් හිටියේ. ඒත් බොහොම කෙටි කාලෙකින් ම ඒ හිස් අවකාශය අ‍යිශ්වරී අල්ලා ගත්තා. ඒක තව දුරටත් හිස් අවකාශයක් වුණේ නැහැ. ජීවිතේ අවුරුදු ගාණකට පස්සේ මම අලුතෙන් ම ගොඩාක් දේවල් කරන්න පටන් ගත්තා. කැමරාවක් අරගෙන පොටෝ ගහන්න ගත්තා. දකින දකින හැම ගහක ම, මලක ම පොටෝ ගැහුවා. හවසට අපේ ගේ ඉස්සරහා වාඩි වෙලා අහස දිහා බලන් හිටියා. ලයිට් වයර් දිගේ වාඩි වෙලා හිටපු කුරුල්ලන් ගැන කවි ලිව්වා. බ්ලොග් පිරෙන්න කතා ලිව්වා. අ‍යිශ්වරීට ඇහෙන්න සින්දු කිව්වා. එයා ගැන සින්දු ලිව්වා. ඒ කාලේ මම හිතාහෙන හිටියේ වාරිමාර්ග ඉන්ජිනේරුවෙක් වෙලා, ඈත පිටිසර පළාතකට ගිහිල්ලා ජීවත් වෙන්න. අයිශ්වරී ඒ පළාතෙ ගමේ ඉස්කොලේ උගන්නනවා කිව්වා. ලෝකෙ හැම තරුණ ආදර කතාවක තියෙන ඔක්කොම දේවල් අපේ කතාවෙත් තිබ්බා. ඉස්සර ටියුෂන් පන්ති ගිහිල්ලා, අපි සමහර දවසට ගාල්ලෙන් ඉරිදා  හවසට කොළඹ එන කෝච්චියේ නැගලා ගෙදර ආවා. ඒ කෝච්චියේම දවසක ලොකු බෑග් මලු දෙකක් දාගෙන, කැම්පස් ටී ෂර්ට් ඇඳගෙන කොළඹට කැම්පස් යන්න අපි පොරොන්දු වෙලා හිටියේ.  ඒත් බොහොම ටික කාලෙකදි ගොඩාක් දේවල් වෙනස් වුණා. ඇයිශ්වරී ඒ කෝච්චියේම වෙන අතක් අල්ලාගෙන යන්න පටන් ගත්තා. ජීවිතේ දෙවෙනි පාරට දැනෙන්න පටන් ගත්ත හිස් කමයි, දුකයි, ආත්ම ලැජ්ජාවයි එකතු වුණු අර මුස්පේන්තු හැඟීමට කියන්නේ "රැවටීම" කියලා මම ඒ වෙනකොට දැනගෙන හිටියා. මගේ කැමරාව මම පෙට්ටියක දාලා වහලා තිබ්බා. ලියන්න ඕන කියලා දාහක් දේවල් ඔලුවට ආවත් ඒ සිතුවිලි කොළවල ලියනවාට වඩා පෙනහලු වල දුම් පුරවලා පුච්චලා දාන එකෙන් ලොකු සැනසීමක් දැනෙනවා කියලා හිතුනා. පෙට්ටියක දාලා වහලාවත්, දුම් වලින් පුච්චලාවත් සිත එක තැනක තියගන්න බැරි වුණ නිසා මම ඔක්කෝම අත ඇරලා තාත්තා වගේම ම ප්ලේන් එකක නැගලා යුරෝපෙට ගියා. ඊට අවුරුදු ගාණකට කලින් තාත්තාත් කරේ මම වගේම පැනලා යාමක් ද කියලා මට ෆ්ලයිට් එකේ දි හිතුනා. කලින් වගේ ම අපේ අම්මාගේ ඇස් වල කඳුලු තිබුණා මට මතකයි. ඒත් කලින් පාර වගේම ඒ කඳුලු වලට ඒ වෙලාවේ මගේ හිතේ තිබුණේ අඩු ඉඩක්.



මම යුරෝපේට ඇවිත් ටික කාලෙකින් ම ලංකාවේ දේශපාලනේ පෙරලියක් වෙන්න පටන් ගත්තා. අවුරුදු දහයක් තිබ්බ දූශිත ආණ්ඩුව පන්නන්න දන්න කියන ඔක්කොම එකතු වෙන්න පටන් ගත්තා. ලංකාවේ පළවෙනි පාරට සෝශල් මීඩියා වලින් කැම්පේන් කරන්න පටන් ගත්ත නිසා මමත් අවුරුදු ගානක් බ්ලොග් ලියලා ගතපු අත්දැකීම් වලින් එක්තරා අපේක්ෂකයෙක් දිනවන්න වැඩ කරන්න පටන් ගත්තා. දේශපාලන පක්ශෙක යුරෝපා ශාඛාවකට බැඳිලා ඡන්දේට බැහැලා ම වැඩ කරා. පරණ ආන්ඩුවේ දූෂණ ගැනයි, අලුත් ආණ්ඩුව තවත් සිංගප්පූරුවක් හදන හැටි‍යි ගැන මම වෙබ් පිටු වලටයි, පත්තර වලටයි ලිව්වා. ලංකාවෙන් පිට හිටපු නිසා කිසිම බයක් නැතුව විවේචන ලියන්න මට පුලුවන් වුණා. චන්දේට පස්සේ දවසේ අපේ අපේක්ෂකයා දිනපු නිසා ඉක්මණටම ටිකට් එකක් බුක් කරගෙන මම ලංකාවට ගියා. මම ලංකාවට ගියපු දවසෙත් අම්මාගේ ඇස්වල කඳුලු තිබුණා. ඒත් පුරුදු විදියටම ඒ කඳුලු තේරුම් ගන්න මට පුලුවන් වුණේ නැහැ. අලුත් ආණ්ඩුවේන් හදන ඇලුත් රටේ කොටස් කාරයෙක් වෙන්න මටත් ඕන වුණ නිසා මම ලංකාවේ විශ්ව විද්‍යාලෙට ඇතුල් වුණා. ඒත් ටික දවසකින් ම මම ආයෙත් රැවටුණු බව මට තේරෙන්න පටන් ගත්තා. දූෂණ‍යට විරුද්දව බල‍යට ආපු මිනිස්සු, ඒ වගේම දූෂණ කරන්න පටන් ගත්තා. ඡන්ද පොරොන්දු එකින් එක බිඳ වැටෙන්න පටන් ගත්තා. පරණ හොරු අලුත් ආණ්ඩුවටත් ආවා. ආණ්ඩුව හදන්න මහන්සි වුණ, ඇත්ත වෙනසක් බලාපොරොත්තු වුණ මිනිස්සුන් ව ටිකෙන් ටික එලියට විසි වෙන්න පටන් ගත්තා. අර පරණ මුස්පේන්තු හැඟීම මට හොඬට දැනෙන්න ගත්තා. මේ අතරේ අපි බලයට ගෙනාපු ජනාධිපතිවරයා, ව්‍යවස්ථා කුමණ්ත්‍රණයක් කරලා අපි පරාද කරපු මිනිස්සුන්ව ආපහු බල‍යට ගෙනාවා. මේ සිද්ධිය අතරේ, පහු ගිය ආණ්ඩුවේ දූෂණ ගැන පරීක්ෂණ කරමින් හිටපු මගේ මිත්‍රයන් බොහොමයක් ප්‍රශ්ණ කිරීම් වලට ලක් වුණා. මුලු රටේම මිනිස්සු ජාතිවාදෙන් අන්ධවෙලා මහා භයානක දිහාවකට රට යන්න පටන් ගත්තා. ආපහු සැරයක් ප්ලේන් එකක නැගලා යුරෝපෙට යනවා හැර වෙන කරන්න දෙයක් මට හිතාගන්න පුලුවන් වුණේ නැහැ. මේ වෙනකොට අම්මා මේ ලෝකෙ හැරදාලා ගිහිල්ලා තිබුණු නිසා අම්මාගේ කඳුලු වල ගැබ් වෙලා තිබ්බ හැඟීම් මට හොඳටම දැනෙන්න පටන් අරන් තිබ්බේ. ජීවිතේ පහු ගිය සිද්දියි, අම්මගේ කඳුලුයි අතරේ සම්බන්ධේ තේරුම් ගන්න තරම් මම මුහුකුරා ගිහින් තිබුණා. ඒත් මට ඒක තේරුණු බව දකින්න අම්මා නොහිටපු එක මහා විශාල පසුතැවිල්ලක් ඉතිරි කරා.



අම්මගේ කඳුලු වල ගැබ් වෙලා තිබ්බේ අපේ ජීවිත මැද්දෙන් හමා ගියපු කුණාටු සම්බන්ධයෙන් මොනයම්ම ආකාරයක වෛරයක් නොවන බවත් මම තේරුම් ගත්තා. අයිෂ්වරීගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ ඊට කෙටි කාලෙකට පස්සේ. බොහොම කාලෙකට කලින්  උපන් දිනේකට මම දුන්න අපේ ගෙදර වැවුණ මලක රාමු කරපු පින්තූරයක් තවමත් ඇය ළඟ තිබෙන බව ඈ මට කිව්වේ ඇයට සුභ පතන්න දුරකථනයෙන් කතා කරපු වෙලාවේ. තාත්තා අසනීප වෙලා, රෝහල් ගත කරලා ඉන්නවා කියලා දැනගත්තා ම මම එයාව බලන්න ලිලී මල් පොකුරක් අරගෙන ඉස්පිරිතාලෙට බලන්න ගියා. ජීවිතේ එක එක අවස්ථා වලදි මිනිස්සු ගන්නේ තමන්ගේ හදවතට දැනෙන විදියට හොඳම තීරණ කියල මම ඒ වෙනකොට අවබෝධ කරගෙන හිටියේ.  ලංකාවේ අලුත් ඡන්දයක් තිබිලා, අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙලා, ඒත් එක්ක ම ඇති වුණ රැල්ලකින් කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා තාප්ප වල චිත්‍ර අඳින බව මම දැක්කේ අන්තර්ජාලයෙන්. ඒ කොල්ලො කෙල්ලෝ මගේ ජීවිතේ එක් එක් කාලවකවානු වලදි හිටපු අස්වින්දලා සිය ගණනකගේ එකතුවක් විදියට මම දැක්කා.  

1 comments :

Kusal Thiwanka said...

that feeling ❤️❤️❤️

Categories