Sunday, January 29, 2012

විලිබර සුකොමලිය




අනාගතයට යටින්,
අතීතය උඩින්
පිපී හිනැහෙන 
සුකොමලිය

කිමැයි?
විලිබර මෙතරම්
සමනලුන්ට වෙඩිතියනා
රටක?

නොපිපුනු
දහසක් කැකුළු අතරේ
සැඟව ගිය
වස්සානයේ ගීතය

ගයාපන් ගයාපන්
වහන් වී හෙමිහිට
වෙඩික්කාරයෝ
ඇති පිණි යට

Thursday, January 19, 2012

වීරසේකර


     ඔහු අපි වීරසේකර නමින් හඳුන්වමු. දඹුල්ලේ ළුෑණු ගොවියෙකුට දාව පවුලේ වැඩිමහලා ලෙසින් ඉපදුනු ඔහු උගැන්මට උපන් හපනෙක් විය. දඹුල්ලේ ප්‍රාථමික පාසලකීන් මූලික අධ්‍යාපනය හදාරන ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝකයට වැඩිදුර අධ්‍යාපනය සඳහා පැමිණේ. හික්කඩුවේ පිහිටි මාමාගේ නිවසේ සිට පාසල් ගිය ඔහු නිසැකයෙන් ම රටේ වැදගත් තැනකට යන බවට කුඩා අවධියේ සිට ම තරු ලකුණු පළ කළේය.


     ධර්මාශෝකයට යෑම විශ්ව විද්‍යාලයකට යෑමට සමාන බවට මතයක් මෑතක් වන තුරුම පැවතිනි. මන්දයත් සමාජයේ සෑම ස්ථරයකට ම අයත්,නා නා වර්ගයේ අයවලුන් රැසක් එකට එකතු වන ස්ථානයක් ලෙස නිසා ය. අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පමණක් නොව දකුණෙන් හික්කඩුව, දොඩන්දුව, රත්ගම දක්වාත්, අනෙක් පසින් ඇල්පිටිය, පිටිගල දක්වාත්, බලපිටිය, කොස්ගොඩ, අලුත්ගම දක්වාත් විශාල වපසරියක ශිෂ්‍යත්ව සමතුන් ඇතුළු විශාල සිසුන් පිරිසක් ඉගෙනුම ලැබූ කීර්තිමත් විද්‍යාලයක් ලෙස ධර්මශෝකය හැඳින්විය හැක. ලන්කාව තුළ විප්ලවීය නමක් රැන්දූ ප්‍රධාන පුද්ගලයන් දෙදෙනා ලෙස අවිවාදයෙන් නම් කළ හැකි ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර හා ජෙනරල් සරත් ෆොන්සේකා යන දෙදෙනා ම ධර්මාශෝකීයන් ය. 

    වීරසේකරගේ පාසල පිළිබඳ මෙබඳු හැඳින්වීමක් සිදුකිරීමේ පරමාර්ථය පාසල තුලින් ඔහු ලද අත්දැකීම් පිළිබඳ වැටහීමක් ඔබට ලබා දීමයි. 

    සාමාන්‍ය පෙළ විභාගය ඉතා හොඳින් සමත් වන වීරසේකර උසස් පෙළ සඳහා තෝරාගන්නේ ගණිත අoශයයි. සෑම වාර විභාගයකින් ම ඉහළ ම ලකුණු ලබාගත් ඔහු ඉoජිනේරු පීඨයට සුදුසුකම් ලබාගන්නා බවට කිසිදු සැකයක් කිසිවෙකුට නොවිණි. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරට ද පත් වන වීරසේකර සැමගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් දිවයිනෙන් ම දෙවැනි ස්ථානය ලබාගනිමින් මොරටුව විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබී ය. එම වසරේ ගණිත අoශයේ දිවයිනෙන් ප්‍රථමයා වූයේ යාපනයේ ශිෂ්‍යයෙකි. වීරසේකර ලබාගත් A සම්මාන හතර ධර්මාශෝකයෙන් බිහි වූ පලමු A හතර ද විය. 

    ඒ අසූව දශකයේ මැද භාගය යි. කළගෙඩි ලාම්පු සෙල්ලමෙන් ආණ්ඩු කාලය දික් කරගත් ජයවර්ධන ආණ්ඩුවත් ආණ්ඩුවේ පාලනයට එරෙහිව පෙරට ආ ශිෂ්‍ය ව්‍යාපාරයත් අතර ගැටුම මෙරට දෙවන තරුණ සන්හාරය කරා රට ගෙනයමින් තිබූ යුගයි. විශ්ව විද්‍යාල සටන් මධ්‍යස්ථාන බවට පත්ව තිබූ රට පුරා භීෂණ යුගයක් ඇරඹෙමින් තිබූ මෙවන් යුගයක ය වීරසේකර විශ්ව විද්‍යාලයට ගොඩවදින්නේ.

      ඔහු අතිශයින් අවන්ක පුද්ගලයෙකි. අසාධාරණයට හේ කවදත් විරුද්ධ විය. තරුණ ජවයත් සමග කැටි වූ ඔහු තුළ සැඟව තිබූ සටන්කාමී ගති ලක්ෂණ මතු කරගත්තේ නිවැරදි ව ඔහුට ඇම ගිල්ලවූ ඊනියා දේශප්‍රේමීන් ය. මින් පසු අව්කාස්ටකේ ළුෑණු වවමින් තමා ලොකු මහත් කිරීමට දහදිය හෙලූ දෙමව්පියන්ටත්, තම සහෝදර සහෝදරියන්ටත් සාධාරණය ඉටුකිරීම පසෙක තබා සමස්ත සමාජ ක්‍රමය වෙනස් කෙරීමේ සටනට "ශිෂ්‍ය වීර වීරසේකර" පෙරට එයි.

   මම පෙර සඳහන් කළා සේ ඔහු අතිශයින් ම අවoකය. නොබෝ කලකින් ම ඔහුට අවබෝධ වූයේ තම ව්‍යාපාරය පොදු අරමුණු පසෙකලා වෙනත් පටු අරමුණු වෙනුවෙන් තරුණ ජීවිත බෙල්ලට දීමේ ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන බවය. එහෙත් ඒ වන විටත් වීරසේකරට කොමීයුනිස්ට් එන්නත නිවැරදිව වැදී අවසානය. අවසානයේ තමන් වෙනම පක්ෂයක් පිහිටුවා ගනිමින් තමා උගත් අරමුණු සඳහා තනිව සටන් කිරීමට ඔහු තීරණය කරයි. තෙවන වසරින් පසු දේශන වලට සහභාගී වීම පසෙකට ලන ඔහු පූර්ණකාලීන ව තම පක්ෂයේ කටයුතු වලට කැප වීමට තීරණය කරයි. උසස් පෙළ සමත් වන සියලුම දෙනාට විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබෙන තුරු තම උපාධිය සම්පූර්න නොකරන බවට ඔහු සපථ කරයි. 


   ඔහුගේ අරමුණු ශ්‍රේෂ්ඨය. සමාජ අසාධාරණය  පිටුදැකිය යුතුම ය. සැමට නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද හිමිවිය යුතු ය. ඔහු වැළඳගත් සමාජවාදී නියමයන් සැබැවින් ම ශ්‍රේෂ්ඨය. එහෙත් මිනිසුන් සැවොම ඔහු මෙන් අවoක නැත. සමාජය අවoක නැත. වීරසේකර වරද්දා ගත්තේ මෙතනයි.

    

    වසර ගණනාවකට පසු අදත් ඔහු වෙනස් වී නැත.  උසස් පෙළ සමත් සැමට ම සරසවි වරම් දීමට තරම් විශ්ව විද්‍යාල පහසුකම් පුළුල් කිරීමට රජය අපොහොසත් වූ නිසා තෙවන වසරින් නැවතූ ඔහුගේ සරසවි ගමන තවමත් එතැනම ය. තවමත් ඔහු රතු පත්තරයක් අච්චු ගසමින් තමා ප්‍රාර්ථනා කළ සමාජ පරිවර්තනය පැමිණෙන තුරු බලා හිඳී. ඔහුගේ පවුලේ ඔහුට බාල සහෝදරයන් දෙදෙනාම වෛද්‍ය වරුන් ය. එහෙත් ඔහු, ලන්කාවෙන් ම දෙවැනියා වූ ඔහු, අද තේ කඩයක බොයිලේරුවක් ලඟ කිලිටි බැනියමක් ඇඳ තේ ගසයි. වීරසේකර විවාහ වී සිටින්නේ රෝහලක ඇටෙන්ඩන්ට් වරියක් සමගයි. පරණ යාලුවෙකු මුණගැසුනු විටෙක ඔහු පවසන්නේ ඔහු ඉතාමත් සතුටෙන් ජීවිතය ගෙවන බවයි. එහෙත් එය රටට මහත් සේවාවක් ලබාගත හැකිව තිබූ මොළයකි. වීරසේකරට කොමියුනිස්ට් වාදය එන්නත් කළ ඔහුගේ සටන් සගයන් සිටිනා තැන් හා ඔහුගේ බොයිලේරුව අතර ඇත්තේ අහසට පොළොව මෙන් දුරකි. ඔහු අදටත් අවoක බව මගේ හැඟීමයි. 
    ලoකාවේ සමාජවාදය යනු නිදහස් අධ්යාපනයේ පිහිට්න් සරසවියට රිoගා නොකැපූ රැවුලක් ඇතිව, අපිළිවෙළට ඇඳුම් ඇඳගෙන දහවල් වරුව ම ලිප්ටන් වට රවුමේ පිකටින් එකක කෑගසා රෑට සැමට හොරෙන් කකුල් වතුර බේසමක දමා ගෙන පාඩම් කොට, කෙසේ හෝ විභාග ගොඩ දමා ගෙන රජයේ හෝ පෞද්ගලික අන්ශයේ උසස් රැකියාවක් ලබාගෙන. කෝටිපතියෙකුගේ දුවක් විවාහ කරගෙන, වීදුරු කලු කළ වාහනයකින් ගමන් යෑමයි. එහෙත් වීරසේකර ලoකාවේ සමාජවාදියෙක් වෙනුවට අවන්ක මිනිහෙක් වීමේ පාඩුව ඔහුට පමණක් නොව මේ රටට ම ය.

Wednesday, January 11, 2012

පිස්සෙක් මි.


හහ් හහ් හහ්
මම පිස්සෙක් ලු!
හහ් හහ් හහ්
මට පිස්සු ලු!



ඇත්ත වෙන්න ඇති,
මට තේරෙන්නෙ නැති ලු නෙ!
මම පිස්සෙක් ලු නෙ!
ඉතින් මට... හහ් හහ් හහ්


ඉතින් මට මොකෝ?
මමෙයි පිස්සු හදාගත්තෙ?
උන් නේ මාව පිස්සෙක් කරේ!
හහ් හහ් හහ්


දැන් මම පිස්සා,
උන්ට පිස්සු නෑ,
ඉතින් දෙයියනේ,මට තියෙනවා
එක ම එක ප්‍රශ්නයක්..

මට පිස්සු නිසා වෙන්න ඇති,
ඒක නොතේරෙන්නෙ.
මිනිහෙක් පිස්සෙක් කරන්න පුලුවන් උන්ට,
කොච්චර පිස්සු තියෙන්න ඕන ද?

හහ් හහ් හහ්
මම පිස්සෙක් නිසා වෙන්න ඇති,
එහෙම හිතෙන්නෙ...
හහ් හහ් හහ්


Wednesday, January 4, 2012

ලොකු ඉස්කොලේ හාමිනේ

     මම මෙහේ ඇවිල්ලා ඉස්සෙල්ලා ම ඉගැන්නුවෙ ඔය ඉස්සරහ හන්දියේ තියෙන කනිස්ටෙ. එතකොට ඔච්චර ගොඩනැගිලි තිබ්බෙ නෑ. පොල්ලතු මඩුවක පන්ති තිබ්බෙ. ඒ කාලෙ දකුනෙ  මිනිස්සු මාලු අල්ලන්න මෙහේ ඇවිත් වැල්ල දිගට වාඩි හදාගෙන පදින්චි වෙලා උන්න. එහේ වාරකන් කාලෙත මෙහේ මුහුද හොඳයි. ඒක නිසා හැම අවුරුද්දක ම මාස හතරක් පහක් මෙහේ එනවා කරුමාන්තෙ කොරන්න. ඒ කාලෙ ඔය මාලු අල්ලන මිනිස්සු ඇරුනාම වැඩිය සිoහල මිනිස්සු උන්නෙ නෑ. වැඩිමනක් උන්නෙ මරක්කල, දෙමල මිනිස්සු තමයි. මෙහේ එනකොට මගෙ වැඩිමල් කෙලී චිත්‍රාට මාස තුනයි. මහත්තය තමයි මුල්ගුරුතුමා උනෙ. පස්සෙ අපි දෙන්නා එකතු වෙලා ඉස්කොලේ ගොඩක් දියුනු කරා . පස්සෙ මහත්තයා තිස්ස විද්‍යාලෙට ගියා. 

      අපේ මුල් ගම දොඩන්දුව. ඒක ඔය ගාල්ල පැත්තෙ තියෙන මූද අයිනෙ තියෙන ගමක්. අපේ ගමේ තමයි දොඩන්දු ගග මූදට වැටෙන මෝය තිබ්බෙ. දැන් වගේ නෙවෙයි ඉස්සර. අපේ මෝයෙ තිබ්බ වරායට එක එක රටවල් වලින් යාත්තරා ආවා. මට හොන්දට මතකයි ඉස්සර කොණ්ඩෙ දිගට බැදපු චීන වෙළෙන්දො එහෙම එනව ජාදි අරන් යන්න. අපේ ගෙදර තිබ්බෙ පොල් වත්තක් මැද. අපේ අප්පා පාරම්පරික වෙදෙක්. ඒක නිසා අපිට ගමේ ලොකු පිලිගැනීමක් තිබ්බ. අපේ ගෙදරට මිනිස්සු කියෙව්වෙත් මහ ගෙදර කියල. මම තමයි පවුලෙ වැඩිමලා. මට බාල මල්ලි ල තුන් දෙනෙකුයි, එක නoගි කෙනෙකුයි හිටිය. මම ඉස්කෝලෙ ගියේ සoඝමිත්තෙට. ඒක අපේ ගෙදර ළඟ මයි තිබ්බෙ. මට ගුරු පත්වීම හම්බවෙලා ඉස්සෙල්ල ම ඉගැන්නුවෙත් සoඝමිත්තෙමයි. දැන් නම් අපේ ඉස්කෝලෙ වැහිල ගිහිල්ල කියල ආරන්වියි. ඒ කාලේ අධ්‍යාපන ඇමති දහනායක මහත්තය. දවසක් මට ලියමනක් එවලා, ගෙන්නල කිව්ව ඉස්කොලෙ නෝනට මාරු වීමක් දෙනව ටිකක් ඈත පළාතකට. හොඳින් වැඩ කරල දියුණු කරන්න ඒ පළාත කියල. ඕන් ඔහොමයි මම මෙහෙට ආවෙ. එතකන් මම මෙහේ ඇවිල්ල ම තිබුණෙ නෑ.


      දකුනෙ මිනිස්සු මුලින් මුලින් දරු පවුල් එක්ක ආවෙ නැත්තෙ එච්චර හොඳ සිoහල ඉස්කෝල මෙහේ තිබ්බෙ නැති නිසා. ඒත් පස්සෙන් පහු සිoහල ඉස්කෝල හැදිල දියුණු වෙලා එනකොට දරු පවුලුත් එක්ක ඇවිල්ලා වැල්ල දිගටයි, ටවුම කිටුවෙයි ගෙවල් හදන් උන්නා. ඔය අතරෙදි තමයි සුලිසුළග ආවෙ. මට නිච්චි හැටියට ඒ හැත්තැ ගනන් වල ද කොහෙද. ඒකෙන් වැල්ල දිගට තිබ්බ ගොඩාක් පැල් කොට විනාස වෙලා ගියා. ඊට පස්සෙ මිනිස්සු ඇතුලට වෙන්න මේ හරියෙත් ගෙවල් හැදුවා. අපිත් මෙහේ ආපු ම දවස් වල ටවුමෙ කුලී ගේක හිටියෙ. අපේ බාලම මලය, නන්දදාස ඒ කාලෙ වැඩ කලේ මිනින්දොරු දෙපාර්තමේන්තුවේ. එයා දවසක් මේ ආන්දන්දන් කුලමෙ මොකක් ද වැඩකට ඇවිල්ල මේ ඉඩම දැකල කොටු කරලා ගිහින් මට පයින්ඩයක් එවල තිබ්බ "ඕන් අක්කෙ මම උබට ඉඩමක්  සුජානම් කෙරුව" කියල. කොහොමින් හරි මහත්තයත් එක්ක ඇවිත් බලලා අපි මෙතන ගෙයක් හදන්න තීරණය කෙරුව. ඒ කාලෙ මේක ඔය කොළඹ පාර අයිනෙ ඉදන් ආන්දන්කුලම වැවට වෙනකන් ම ඉඩම තිබ්බා. පස්සෙ මහත්තය වැව අයිනට වෙන්න පවුල් දහයකට ගෙවල් හදලා දුන්නා. එයැයි ගෙ හැටි තමයි ඉතින්. දෙමළ පවුල් හයකුයි, මරක්කල පවුල් තුනකුයි, එක සින්හල පවුලකුයි ඕන් ඔහොම අපිත් එක්ක ජීවත් වෙන්න ආව.


     කාලෙ ඔහොම ගෙවිල යන අතරෙ තමයි මේ තිරිකුණාමලේටත්  කොටි කලබල ආවෙ. කොටි අපේ රටට වගේම අපේ පවුලටත් ලොකු අන්ධකාරයක් ගෙනාව. මට නිච්චි හැටියත ඒ අසූ ගනන් වල මුල් කාලෙ. මහත්තයා එතකොට මෙහෙ ගම් සභාවෙ සභාපති වෙලා හිටිය. එයා මනුස්සකම තියෙන, මට, දරුවන්ට වගේම හැම මිනිහටම එක වගේ සලකපු හිත හොඳ මනුස්සයෙක්. ඒ කාලෙ මහත්තයා ඔය වැව හරියට වෙන්න ගඩොල් පෝරණුවක් කරගෙන ගියා. දවසක් හවස ගමට කොටි ගැහුව. ඒ වෙලාවෙ මහත්තය ඉදලා තියෙන්නෙ වාඩියෙ නිදාගෙන. වෙන කවුරුත් වාඩියෙ ඉදලත් නෑ. කලබලේ ඉවර උනාට පස්සෙ මහත්තයා ආ ගිය අතක් නැති උනා. අපි හොයන්න් තියෙන හැම තැන ම මහත්තයා හෙව්ව. ඒ වoගියෙ ආන්දන්කුලමෙ පස් දෙනෙක් කොටි කටට බිලි වෙලා තිබ්බ. මම පුල්ලෙයාර් දෙවියන්ට මහත්තය වෙනුවෙන් බාර උනා. අන්තිමේ දවස් දෙකක්ට විතර පස්සෙ කොස්සක් අරන් ගිහින් පිහිදන්න කියල වාඩියෙ තිබ්බ බූරු ඇද පැත්තකට ඇද්දා. කොටි නිදාගෙන හිටිය මහත්තයට වෙඩි තියලා ඇද යටට තල්ලු කරල තිබ්බ. රටක් වටින මනුස්සය මාව ද


රුවො හතර දෙනෙක් එක්ක තනිකරල ගියා.

     කොටි හබරණ කැලේ දි වoගියක් බස් එකකට ගැහුව. ඒකෙ මගෙ නoගියි, නoගිගෙ ලොකු පුතයි හිටිය. එයාල අපේ ගෙදර ඇවිල්ල ආපහු යමින් ගමන් තමයි ඒ. පුතාගෙ හත් දවසෙ දානෙ දවසෙ තමයි මෙඩිකල් කොලීජියට තේරිච්ච ලියමන ආවෙ. නoගි බේරුණා. එයාගෙ ඇගේ තිබිල මූනිස්සම් දහ තුනක් අයින් කරා. ඔය විදියට වටින ජීවිත කීයක් නම් මේ රටට නැතිවෙන්න ඇද්ද? ඉන්දියන් හමුදාව ආපු කාලෙ අපිට ගොඩක් කරදර උනා. උන් මේ හතර වටේ ම උන් ගෑනු අය දූෂණය කලා. කන කර කඩා ගත්තා. ඒක නිසා අපි ගලේවෙල අපේ බාප්පලයි ගෙදර ළග ගෙයක් බද්දට අරන් උන්නා. නෑදෑයො හැමෝම එයාලගෙ ගෙවල් වල එන්නෙයි කිව්ව. ඒත් මම කාටවත් කරදර කරන්න කැමති උනේ නෑ. අනූ දෙකේ දි ඉන්දියන් හමුදාව ගියාට පස්සෙ ආපහු අපි මෙහේ ආව. ඉන්දියන් හමුදාව ගියාට පස්සෙ පුරප්පාඩු පුරවන්න දකුණෙන් සිoහල ගුරුවරු මෙහාට ගෙන්නුව. එහෙම ආපු හතර දෙනෙක් ට නවාතැන් හොයාගන්නකන් මම අපේ ගෙදර නවාතැන් දුන්නා. එයාල නවාතැන් හොයන් ගියාට පස්සෙ ත් මම දිගටම කෑම උයල දුන්න. මම පැන්ෂන් ගිය දවස නම් දැන් හරියට ම මතක නෑ.

     මගෙ පුතා දැන් වැඩකරන්නෙ ප්‍රීමා එකේ, මේ ළගමයි. එයා ඉන්ජිනේරුවෙක්. බාල ම දූත් ඉන්නෙ මෙහේමයි. එයා වැඩ කරන්නෙ වරාය අධිකාරියේ. අනිත් දූලා දෙන්නා ම බැදල ගිහින්. මට දැන් වයසයි. මගේ කාලෙ දැන් ඉවරයි. මගේ ජීවිතෙන් වැඩි හරියක් ගෙවුනෙ තිරිකුණාමලේ මිනිස්සු අතරෙ. මම මෙහේට ආසයි. මම හැම දා ම පුල්ලෙයාර් දෙයියන්ගෙන් ඉල්ලන්නෙ හැම කෙනාට ම හොදක් වෙන්න කියල. පුතාට මම දෙයක් කියන්නම්. කැමති නම් රස්සාවක් කරන කාලෙක මෙහේ ට එන්න පත්වීමක් අරගෙන... කොටි මගේ මහත්තයගෙ ජීවිතේ බිලි ගත්ත කියල මගේ දෙමළ මිනිස්සු එක්ක කිසිම වයිරයක් නෑ. මගේ එක ම ලේලිථ් දෙමළ කෙනෙක්. අපි හැමෝට ම මේ රට අයිතියි පුතා.. !



සත්‍ය කතාවක් ඇසුරිනි.
විශේෂ ස්තූතිය රත්නාවලී ජයසූරිය මහත්මියට.


Categories