Monday, January 13, 2014

"කතාවක් ලිවීම"


මට මොනවා හරි ලියන්න ඕන. ඒත් කිසිම දෙයක් හරියට ගලපගන්න බෑ නෙ. මට ඕන ලස්සන කතාවක් ලියන්න. ඒකට ඉතින් හිත ඇතුලෙ එහෙට මෙහෙට පාවෙන සිතුවිලි පෙලියකට පෙළගස්වලා, මුල මැද අග එකට පුරුද්දලා, ණ න ළ ල ගලපලා සුවල්ප ගේම් එකක් ය දෙන්න ඕන. ඒක දිගම දිග කතාවක් වෙන්න ඕන. අනිවාර්යෙන් ම මම තමයි වීරයා. දුෂ්ඨයෙකුත් හොයාගන්න ඕන. ඇයි කෙල්ලෙකුත් ඉන්න එපැයි අනිවාර්යෙන් ම වීරයයි දුෂ්ඨයයි මැද්දට දාන්න. ඒත් කොහොමද අනේ මම පටන් ගන්නෙ? මට තේරෙන්නෙ නෑ නෙ පටන් ගන්න.  ඒක මෙච්චර කාලෙකට මේ ලෝකෙ කවුරුවත් ම ලිව්වෙ නැති වර්ගෙක කතාවක් වෙන්න ඕන. ඒ කතාව සිසරෝ, සැමුවෙල් බෙකට්, මිලාන් කුන්දේරා, පාවුලෝ කොයියෝ, හෙන් රි මිලර් වගේ ලෝකෙ හොල්ලපු නම් අතරට මාවත් අරගෙන යන්න පුලුවන් වෙන ජාතියෙ එකක් වෙන්න ඕන. ඒත් කොහෙන් ද මට ප්ලොට් එකක්? හැබෑවටම අපේ පරම්පරාවෙ මිනිස්සු ඉස්සරහා තියෙන අමාරුම වැඩේ තමයි ප්ලොට් එකක් හොයාගන්න එක. ප්ලොට් එකක්, මුල මැද අග ගලපපු නිර්මාණයකට හරවන එක ප්ලොට් එකක් හොයාගන්න එක තරම් ගේම් එකක් නෙවෙයි මට හිතෙන විදියට. 



උඹලා ඔක්කොම ටෙට්සුකෝ කුරියානගි ලියපු "ද ලිට්ල් ගර්ල් ඇට් ද වින්ඩෝ" එහෙමත් නැත්නම් "ටොට්ටෝ චං" පොත කියවලා ඇති නෙ. මතක ද ඒකෙ එක තැනක කොබයාෂි මුල් ගුරුතුමා, එක ඉස්කොලෙකින් පන්නාපු දඟකාර ටොට්ටෝ චං දැරියව තමන්ගෙ පාසලට ඇතුළත් කරගන්න කලින් කරන දේ? ඔහු, ටොට්ටෝ චංට කියන්නෙ "ඔයාට කැමති, කියන්න තියෙන හැම දෙයක් ම මට කියලා ඉවර කරන්න. මම අහගෙන ඉන්නම්." ඉතින් අවුරුදු හතේ චූටි කෙල්ල තමන්ගෙ ලෝකෙ වෙන හැම දෙයක් ම මුල් ගුරුතුමාත් එක්ක කියනවා. ලොකු වෙලා එයා වෙන්න කැමති කවුද කියන එක, කම්බි වැටවල් යටින් රිංගන්න ගිහින් යට ඇඳුම් ඉරෙන හැටි, එයාගෙ බලු සුරතලා රොකී ගැන.. එයාගෙ හිතේ තියෙන ඔක්කොම දේවල් කියලා ඉවර වෙනකන් ම දවස් තුනක් ම මුල් ගුරුතුමා එයා කියන දේවල් හූ මිටි තිය තිය අහන් ඉන්නවා. ඊට පස්සෙ තමයි ටොට්ටෝ චංගෙ අම්මාට "ඔයාගෙ දුව හරිම දක්ෂ ලමයෙක්" කියලා පාසලට ඇතුළත් කරගන්නෙ. පොඩ්ඩක් හිතන්න, දැන් ඔන්න ඔයාට කවුරු හරි කියනවා ඔයාගෙ හිතේ තියෙන හැම දෙයක් ම කියන්න. එයා අහන් ඉන්නම් කියලා. ඔයාට කොච්චර වෙලාවක් කතා කර කර ඉන්න දේවල් තියේවි ද? ඔයා කොච්චරක් දේවල් අවංකව කියාවි ද?  ආ? ටොට්ටෝ චං වගේ දවස් තුනක් නම් කී‍යටවත් ඔයා කතා කරන්නෙ නෑ නේ ද? අනික අර කෙනා අහන් ඉන්නෙත් නැති වෙයි නේද එච්චර? :ඩී අපේ පරම්පරාවෙ මිනිස්සුන්ගෙ ජීවිත කතා අහන් ඉන්න එක තරම් ආතල් එකක් තියෙන වැඩක් මම නම් දන්නෙ නෑ. හැම ජීවිතයක් ඇතුළෙම මහ අමුතු ඒ ජීවිතේටම විතරක් සීමා වෙච්ච අහුමුලු තියෙනවා. ඒ අහුමුලු වල පිටින් බැලුවාම කාටවත් ම හොයාගන්න බැරි විදියෙ හීන, අපේක්ෂා, සිතුවිලි, අත්දැකීම් හිරවෙලා තියෙනවා. ඒත් ඉතින් ඒ අහුමුලු වලට එබෙන එක තමයි අමාරුම වැඩේ. 



දැන් එතකොට කාගෙ හරි ජීවිතයක් ඇතුළට එබිලා බැලුවා නම් මගේ කතාව ලියන්න ප්ලොට් එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ නේද? ඒත් ඉතින් කවුද මට කතා කරලා කියන්නෙ "මචං මං උඹට බඩ්ඩක් පෙන්නන්නම්" කියලා? ඒ වැඩේ නම් හරියන එකක් නෑ නේද. ඇත්තම කියනවා නම් මගේ ජීවිතේ ඇතුළෙත් කොච්චර නම් ඔය වර්ගෙට අයත් වෙන අහුමුලු තියෙනව ද? සිරාවට මට පුලුවන් නෙ මං ගැනම ලියන්න. හරියට හෙන් රි මිලර් කරනවා වගේ, වෙයි වෙයි කරනවා වගේ, සොෂියෝ පොලිටික්ස් මික්ස් කරලා මගේ කතාව මම ම ලිව්වොත් මොනවා වෙයි ද? තස්ලිමා නස් රින් "ලජ්ජා" ලිව්වා ම, මැරයො එයාගෙ ගෙදර ගිනි තිබ්බා. සල්මන් රුෂ්ඩි "ද සැටනික් වර්සස්" ලිව්වාම ලෝකෙ පුරාම ඉස්ලාම් අන්තවාදියො එයාට මරණ තර්ජන එල්ල කරා. ඉරානෙ ආධ්‍යාත්මික නායක "අයතුල්ලා කුමෙයිනි"ත් ඒ අතරෙ හිටියා. වෙයි වෙයි "ෂැන්හයි බේබි" ලිව්වාම චීන පාලකයො ඒකෙ පිටපත් තිස් පන්දාහක් මහ පාර මැද්දෙ පිච්චුවා. මටත් ඕන ඒවගේ මනස කලම්බන, ලෝකෙ හොල්ලන පොතක් ලියන්න. මිනිස්සු, සදාචාරෙ, සංස්කෘති, දේශපාලනේ එක්කහු වෙලා වහගෙන ඉන්න අපේ පරම්පරාවෙ මිනිස්සුන්ගෙ "නිරුවත් ආත්ම" ඒකෙන් පෙන්නන්න ඕන ඒ අයටම.



"මම අම්මගෙ බඩට ඇවිත් තියෙන්නෙ අවුරුදු දාහතක් හිටපු යූඑන්පී ආණ්ඩුව ගෙදර යනගමන් ශ්‍රීලංකා කාරයොන්ගෙ ගෙවල් ගිනි තියයි කියන බයටයි, දෙවෙනි මැතිනි රජ වෙච්චි සතුටට ශ්‍රීලංකා කාරයො යූඑන්පී ගෙවල් වලට අසූචි මුට්ටි වලින් සංග්‍රහ කරයි කියන බයට‍යි ලංකාව පුරාම ඇඳිරි නීතිය දාලා තියෙද්දි ලු. ඊට පස්සෙ මං හා හා පුරා කියලා ඉස්කොලෙකට ඇතුල් කරපු එක සමරන්න මුලු රටම එකතු වෙලා ඊට අවුරුද්දකට කලින් පත් කරගත්තු "එකැස් මැතිනිගෙ ආණ්ඩුව" ගෙදර යවලා, නිල් පාට ගාලා තිබ්බ නගර සභාවෙ කුණු ට්‍රැක්ටර් වල ආයෙම පාරක් කොළ පාට තීන්ත ගෑවා. මං පහේ ශිෂ්‍යත්වෙන් පාස් වෙච්චි එකේ සතුටට හරි දුකට වන්නියෙ කොටි හපුවො දෙමළ මිනිස්සුන්ට චන්දෙ දාන එක තහනම් කරලා සටන් විරාමෙ ගහපු අගමැතිගෙ පස්ස් බිම අන්නවලා අලුත් ජනාධිපති කෙනෙක් පත් කරගත්තා. මං මුලින්ම කෙල්ලෙක්ට බැල්ම දාන්න පටන් ගත්ත දවස් වලම අවුරුදු තිහක් එක දිගට කරපු යුද්ධයක් ඉවර කරැයි කියලා මුලු රටටම හෙන ආතල් එකක් ගිහින් මහ පාරවල් ගානෙ කිරිබත් උය උයා කෑවා. ආයෙම සැරයක් ඕලෙවල් ලියන්නෙයි කියලා ඉන්නකොටම යුද්ධෙ කොරපු මහ සෙන්පතියා බල්ලා මාක් කරලා හිර ගෙදරට දක්කලා කොටි හපුවො රජ ගෙදරට වඩම්මනකන් මුලු රටම අර කාපු කිරිබත් දිරවගන්න බැරුව කක්කුස්සි පෝලිමේ හිටියා. ඔන්න ඒ පාර මං දෙයියනේ කියලා ඒ ලෙවෙල් ලියන්න හදනකොට "චෞර රැජිණ" කියලා ලේබල් වැදිච්ච එකැස් මැතිණියි, මොණරුන්ට බහින්න එයාපෝට් හදපු "කාපට් මහත්තයයි" කෙළ ගන්න හදනවැයි කියන්නේ... " 

කිරි අප්පට විදුලි කොටපි. මේ තියෙන්නෙ ගින්දර වගේ.. :ඩී මගේ කතාවත් නරකම නෑ නෙ.

Categories