Friday, December 15, 2017

මට අහිමි මම

Image result for narrow streets of madrid

"මම" කියන්නේ වර්තමානයක් වත්, අනාගතයක් වත් නැති අතීතයක් විතරක් තියෙන නොස්ටැල්ජියානු ජීවියෙක් බව තේරුම් ගන්න මට බොහොම කාලයක් වැය කරන්න සිද්ධ වුණා. බාහිරට පෙනෙන මම සහ ඇතුලාන්තයෙ ඉන්න මම විභේදනය වෙලා ජීවිතේ එක්තරා තැනක ඇතුලාන්තයේ ඉන්න මම නවත්තලා, බාහිර මම ජීවිතෙත් එක්ක ඉස්සරහාට ගිහිල්ලා තිබුණා. අඳුරු පාට සීත කබා අස්සේ හැංගිලා, දුම් උරමින්, තොරතෝංචියක් නැතුව කතා කරමින් මැඩ්‍රිඩ් නගරෙ පටු වීදි දීගේ ඇවිදගෙන යන මිනිස්සු අතරේ අතරමං වෙනකන් ම මම හෙව්වේ ඒ මගේ ඇතුලෙ තවදුරටත් නැති මම.

Image result for couple in madrid
කොණ්ඩෙ කැරලි ගැහුනු කෙල්ලෙක් අතින් එල්ලා ගෙන, එකිනෙකාට තුරුලු වෙලා හිනා වෙමින් පාරේ ඇවිදගෙන ගියපු ලතින් අමෙරිකානු සම්භවයක් සහිත තරුණයා ළඟත්, "කල්ලෙ මයෝර්" වීදියත්, "කල්ලෙ දෙල් රියෝ" වීදියත් එකිනෙකට මුණගැහෙන තැන පාරෙ අයිනේ ක්ලැසිකල් ගිතාරුවකින් ෆ්ලැමෙන්කෝ නාද රටා වදනය කරපු වීදි ගිටාර් වාදකයා ළඟත්,  "ප්ලාසා මයොර්" චතුරස්‍රෙ පැත්තක ඉඳගෙන අශ්වයෙක් පිට නැගලා බොහොම තේජවන්ත විදියට ඉන්න "තුන්වෙනි ෆිලිපේ රජ්ජුරුවන්ගේ" ප්‍රතිමාව කැන්වස් රෙද්දක් උඩ කලු පාට පැන්සලකින් අඳිමින් උන්නු වීදි සිත්තරා ළඟත් මම හෙව්වේ, බොහොම ඉස්සර කාලෙක ජීවත් වුණු, හැමදෙයක් ම දිහා අමුතුවට බලපු, අසීමාන්තිකව ආදරය කරපු, මිනිස්සු අතරේ ජීවත් වුණු මම.

Image result for madrid

පහළොස්වෙනි, දහසය වෙනි සියවස් වල ලෝකෙන් බාගෙක අගනුවර වෙච්ච, ලෝකෙ ඈත ඉම් හොයාගෙන ගියපු නිර්භීත නාවිකයන්ගෙන්, ගවේශකයන්ගෙන් සහ කොළනි වල යටත්වැසියන්ගෙන් පිරිලා තිබුණු, ඊට පස්සේ කාලෙක ආර්ථික පරිහාණියට ලක් වෙලා එක්දාස් නවසිය තිස් ගණන් වල දරුණු සිවිල් යුද්ධෙකින් නගරෙන් වැඩි ප්‍රමාණයක් බිමට සමතලා වුණු, ඊට පස්සේ මහා දරුණු ආඤාදායක "ෆ්‍රන්චිස්කෝ ෆ්‍රන්කෝ" යටතේ අවුරුදු හතලිහක පීඩාකාරී පාලනයකින් හෙම්බත් වුණු මැඩ්‍රිඩ් නගරෙත්, මගේ ජීවිතයත් අතරෙ එක්තරා සමානකමක් මම දැක්කේ "ප්ලසා දි රමලෙස්" චතුරස්‍රෙ එළිමහන් කෝපි හලක ඉඳන් දුම් දමන කපුචිනෝ කොප්පයක් බොන අතරෙදි.

Monday, March 13, 2017

"ඇගේ පෙම්වතා"



එයා මට කියපු හැම කතාවක ම හිටියේ, පිළිවෙළට ඇඳපු, බොහොම වැදගත් විදියට භාෂාව හසුරවපු, එයාගෙ වචන වලින් ම කියනවා නම් හරිම "නයිස්" පෙම්වතෙක්. කෝපි හලක මුල්ලක තියෙන මේසෙක දෙකෙළවරේ පුටු දෙකක වාඩි වෙලා, උඩට ලස්සන සුදු පාට පෙණ තියෙන, දුම් දමනකපුචිනෝ කෝප්ප දෙකක් විතරක් අපි අතරේ තියාගෙන ගත කරපු හැම හවසක ම, මම උත්සාහ කරේ ඇය කියපු කතා වල හිටිය පෙම්වතාගේ රූපයක් මනසින් ගොඩනගා ගන්න උත්සාහ කරපු එක. ඒත් ඇගේ කතාව ඉවර වෙලා, කපුචිනෝ කෝප්පෙ පෙණ විතරක් යන්තම් පතුළේ ඉතිරි වෙනකන් ම මට සාර්ථක රූපයක් ගොඩනගා ගන්න කවදාවත් පුළුවන් වුණේ නැහැ.

ඇය මුලින් ම කැමති වෙන්න ඇත්තේ, ඔහුගේ නිර්මාණාත්මක කථන හැකියාවට වෙන්න ඇති කියන එක මගේ හිතට ඇතුළු වුණේ, ඇය මට කියු එක කථාවක නිර්මාණාත්මක කතා තරඟයක් තිබුණු නිසා. ඒ තරඟෙ දි ඔහුගේ කළ කතාව මගේ ඉස්සරහ රඟ දක්වලා පෙන්වන්න ඈට තිබුණු උනන්දුවත්, ඒ කතාවේ උපමා, රූපක ඉඳන් අකුරක් නෑර ඇගේ මතකයේ තිබීමත්, ඒ මොහොතේ දී ඇගේ ඇස් වල තිබුණු දීප්තියත් නිහඬව මට කිව්වේ ඊටත් වඩා ලොකු කතාවක්. ඇගේ කතා අහගෙන ඉන්න මමත්, ඈ ඉදිරිපිට බොහොම ලස්සන කතා කියපු ඇගේ පෙම්වතාත් අයිති වෙන්නෙ වෙනම ලෝක දෙකකට ද, එහෙමත් නැත්නම් එකම ලෝකෙ දෙකෙලවරකට ද කියන දේ මට තවමත් හිතා ගන්න බැරි දෙයක්. 


එක සීනි හැන්දක් දාපු කපුචිනෝ කොප්පෙන් පිට වෙන දුම ටිකෙන් ටික අඩු වෙලා, කෝපි සීතල වෙනකන්, ඇගේ කැරලි ගැහුණු කොණ්ඩෙ දිහා බලාගෙන, ඇගේ කතා වලට ඇහුම් කන් දීම හැර වෙන කිසිම දෙයක් කරන්න මට කවදාවත් ඕන වුණේ නැහැ. මගේ උරහිස ළඟට වෙනකන් වැවුනු කොණ්ඩ‍යත්, හැමදාම ඇඳපු කලු පාට මෙටල් රොක් කොලර් ලස් ටී ශර්ටුත්, ඉතාලි උරුවකින් යුත් ඉoග්‍රීසි භාෂාවත් එක්ක මට කවදාවත් ඈට කතා කියන්න පුලුවන් වෙන්නෙ නෑ කියන දේ මගේ හිතේ කොනක හැම වෙලේම තිබුණා. මගේ යුරෝපිය බොහීමියානු ජීවිතයේ යම් යම් කොටස් කතන්දර බවට හරවලා ඇයට කියන්න ඕන බව හිතුනත් මම දක්ෂ වුණේ ඒ කතා මනසින් ගොඩනගන්න මිසක් ඇය ඉදිරිපිට කියන්න නොවෙයි. 


ආයෙමත් කිසිම දවසක වෙන කෙනෙකුට ආදරය කරන්න ඉඩක් නැති තරමට ඔහු ඇගේ ආත්මයට ඇතුළ් වෙලා ඉන්න බව ඈ මට කිව්වේ, ඔහු තමන්ගේ කතා අහන්න වෙනත් අසන්නියක් හොයාගෙන සති කීපෙකෙට පස්සේ කඳුළු පුරවගත්ත ඇස් වලින්. වචන වලින් කතා කරන භාෂාවල් ගැන මගේ තිබුණු විශ්වාසය බිඳිලා ගිහිල්ලා ඒ වෙනකොට බොහොම ලොකු කාලයක් ගත වෙලා තිබුණත්, ඒක ඇයට තේරුම් කරන විදියක් මම දැනගෙන හිටියේ නැහැ. ඒක නිසා මට කරන්න පුලුවන් වුණේ වෙනදා පෙම්වතා ගෙ කතා මට කියද්දි දිලිසුණ ඇගේ ඇසුත්, මෙදා ඒ කතා නැතුව ගොළු වුණ ඇගේ ඇසුත් අතරෙ වෙනස ගැන හිතන්න විතරයි. 

Categories