Sunday, July 21, 2019

මගේ විඩාව


මට ඇය ව මුණගැහුනෙ හරියටම අවුරුදු තුනකට පස්සේ. ඇගෙන් අවසාන වතාවට සමුගත්තු ලොරේතො දුම්රිය පොළේ බංකුවක මම ඇය එනතුරු වාඩි වෙලා හිටියා. ඒ වෙනකොට හවස වැඩ ඉවර වෙලා ගෙදර යන මිනිස්සු බහුතරයක් ගෙවල් වලට ගිහිල්ලා තිබුණු නිසා දුඹුරු පාට කෝට් එකක් ඇඳුපු වයසක මහත්මයෙක් විතරක් මට අඩි කිහිපයක් එහායින් දුම්රිය වේදිකාවේ ඒ මේ අත පරිස්සමින් අඩි තියමින් සක්මන් කරා. පහුගිය කාලෙ පුරාවටම මමත් කරේ බිම ඇදගෙන වැටෙනවාට බයෙන් පරිස්සමෙන් අඩි තියමින්, කිසිම අරමුණක් නැතුව ඇවිදපු එක කියලා මට කල්පනා වුණා. මුළු දුම්රිය වේදිකාව පුරාම සක්මන් කළත්, වයසක මහත්මයාට මේ වේදිකාවෙන් ම දුම් රියට ගොඩ වෙන්න සිද්ධවෙනවා වගේ ම මුලු ලෝකෙ පුරාම ඉබා ගාතේ ඇවිද්දත්, මමත් අන්තිමට ඇවිල්ලා නතර වෙලා තිබුණේ පටන් ගත්ත තැනමයි. 



අපේ අම්මා කියපු විදියට ඔලුවේ රාහු හිටපු නිසා දෝ කොහෙද, අවුරුදු තුන පුරාවට ම මම කිසිම අරමුණක් නැතුව එහේ මෙහේ ඇවිද්දා. කොළඹ නගරේ, මාර ගස් වලින් සෙවණ වෙලා තියෙන පාරවල් දිගේ ඔහේ ඇවිදගෙන ගියා. බර අඩි තියලා, උජාරුවෙන් ඇවිදින නෝනලාව බිම බලාගෙන පහු කරා. මත්පැන් වඩි කිහිපයකට පස්සේ දෙහිවල වෙරලෙ බිම් තඹරු වැල් උඩ හාන්සි වෙලා මළානික අහසෙ තරු දිහා බලන් හිටියා. ඒ වෙලාවෙ මුහුදෙ රැළ බිඳෙන සද්දෙවත්, සැර හුළඟට ගොඩ බිම පැත්තට නැවිලා තියෙන පොල් ගස් වල අතු සර සර ගාන සද්දෙවත් මට ඇහුනෙ නැත්තේ ඒ වෙලාවෙත් මම හිතෙන් ඒ තරු අතරෙ ඇවිද ඇවිද හිටපු නිසා. 

මේ අවුරුදු තුනට කලිනුත් මගේ ජීවිතේ වැඩි කාලයක් ගත වුණේ, කිසිම අරමුණක් නැතුව එහේ මෙහේ ඇවිදින්න තමයි කියන එක මට කල්පනා වුණත්, ඒ අතරින් ම, ඒ ඇවිදිල්ලයි, මේ ඇවිදිල්ලයි අතරේ ලොකු වෙනසක් තිබුණ බව මම දැනගෙන හිටියා. ඉස්සර කාලේ, ඇවිදලා ඇවිදලා හති වැටුණා ම මම සයිකලයක් පැදගෙන හරි, කෝච්චියක නැගලා හරි, ගුවන් යානෙක නැගලා හරි හික්කඩුවට ගියා. ඒත් මේ අවුරුදු තුන ඇතුළෙ දි කොච්චරවත් බම්බලපිටියේ ඉස්ටේෂමෙන් ගාල්ල පැත්තට යන කෝච්චි පිටත් වුණත්, ඒ එකකට වත් කාලය හරහා ගමන් කරලා "මගේ හික්කඩුවට" මාව අරන් යන්න බැරි බව දැනගෙන හිටපු නිසා මම ඒ මහන්සිය පපුව ඇතුලෙම පුච්චලා දැම්මා. ඒ පිච්චිච්ච දුම මගේ නාස් පුඩු වලින් එළියට ඇවිල්ලා, අහසේ අලුපාට වළාකුළු අතරේ නොපෙනී ගියා. ඒක නිසා මගේ ඇවිදිල්ලෙන් ඇඟට දැනෙන මහන්සියක් මගේ ළඟ ඉතිරි වුණේ නැහැ.



මම කල්පනා කර කර ඉන්න අතරේම, හෙමින් ගමනින් ආපු දුම්රියක්, ලොරේතො දුම් රිය පොළේ නතර වුණා. වයසක මහත්තයා පරිස්සම් අඩියෙන් දුම් රියයි, වේදිකාවයි අතරේ තියෙන පඩිය නැගලා දුම් රියට ගොඩ වුනා. මම හිටපු බංකුවට ඈතින් දුම් රියේ අනික් කෙළවරින් මම අවුරුදු තුනක් බලං ඉඳපු රුව මතු වුණා. දුම් රිය මැදිරි කවුලුවේ වීදුරුවෙන් මට මගේ ඡායාව පෙනෙන්න ගත්තා. මගේ ඇස් ටිකක් යටට ගිලිලා ඇස් යට අඳුරු පැහැයට හැරිල තිබුණා. මුහුණේ ඉරි ඇඳිලා, විඩාබර පෙනුමක් තිබුණා. ඇස් වල මළානික පෙනුමක් එක්ක, රතට හුරු අඳුරක් තිබුණා. අවුරුදු තුනක් තිස්සේ මට නොදැනුන මහන්සිය, මට එකපාරට ම දැනෙන්න පටන් ගත්තා.   

Categories