Saturday, October 3, 2015

"ග්වයිරා ග්වන්තනමේරා"


1929 අවුරුද්දෙ එක්තරා දවසක කියුබාවෙ හවානා නගරයේ ගුවන්විදුලි සේවයක වැඩ කරපු "ජොසේ ෆර්නැන්ඩස්" කියන ගුවන්විදුලි ශිල්පියාව බලන්න ඔහුගේ පෙම්වතිය "ස්ටීක් සැන්ඩ්විච්" එකක් තෑග්ගක් විදියට අරගෙන ඔහුගේ වැඩපළට ආවා. ඒ දෙන්නත් එක්ක ළඟ තිබ්බ අවන්හලකට ගිහින් මේ සැන්ඩ්විච් එක කන අතරෙ ඒ ජොසේ ෆර්නැන්ඩස් ගෙ ඇස් ඊට ටිකක් එහාට වෙන්න වාඩි වෙලා හිටපු ලස්සන නන්නාඳුනන තරුණියක් ළඟ නැවතුනා. ටිකක් වෙලා ඒ තරුණිය දිහා බලාගෙන ඉන්නකොට, මේ නාඳුනන මනුස්සයා තමන් දිහා බලාගෙන ඉන්නවා කියලා දැනුන තරුණිය ෆර්නැන්ඩස් ට ගස්සලා එතනින් නැගිටලා යන්න ගියා. සිද්ද වෙච්ච ලැජ්ජාව දෙගුණ කරන්න වගේ සිද්ධිය දැනගත්ත ෆර්නැන්ඩස්ගෙ යාලුවෝ එයාට විහිලු කරන්න ගත්තා. ඒ තරුණිය ගැන ඇති වෙච්ච ක්ෂණික හැඟෙමයි, වෙච්ච ලැජ්ජාවයි දෙකම එකතු කරලා එදා රෑ ගෙදර ගිහිල්ලා පියානෝව ඉස්සරහා වාඩි වුණ ජොසේ ෆර්නැන්ඩස් තමන්ගෙ හැඟීම් සින්දුවකට පෙරලුවා. ස්පාඤ්ඤ භාෂාවෙන් "ග්වයිරා ග්වන්තනමේරා" (ග්ව්නතනාමෝවේ තරුණි‍ය ) නම් වුණ මේ ගීතය එදා මෙදා තුර කියුබාවේ ජනප්‍රියම ගීතය විතරක් නෙවෙයි ස්පාඤ්ඤ භාෂාව කතා කරන ලෝකයේ ජනප්‍රිය ම ගීත අතරටත් එකතු වුණා. 



කියුබානු විප්ලවයේ ගීතයක් විදියටත්, කියුබානු ජන ගීතයක් විදියටත් විවිධ ස්ථාන වලදි හැඳින්වෙන "ග්වන්තනමෙරා" ඊට අවුරුදු හතලිස් හතකට විතර පස්සේ 1966 අවුරුද්දෙ ඇමරිකානු විප්ලවීය විකල්ප ධාරාවේ සoගීතඥ "පීට සීග" අලුත් විදිහකට සකස් කරලා "ද සෑන්ඩ් පයිපර්ස්" කියන ඇමරිකානු සoගීත කණ්ඩායම ගායනා කරා. ඒක ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ, අයර්ලන්තයේ, ජර්මනියේ ගීත දර්ශක වල පළමු ගීත අතරට ආවා. 2012 අවුරුද්දෙ දි ඉතාලි ජාතික ගායක "සුකෙරෝ" ඉතාලි භාෂාවෙන් ගායනා කරපු "ග්වයිරා ග්වන්තනමේරා" ඒ අවුරුද්දෙ ඉතාලියේ නිකුත් කෙරුණු ජනප්‍රියම ගීත අතරින් එකක් වුනා. 

කියුබාවේ අනන්‍යතාවය පෙන්නුම් කරන සoකේතයක් තරමට ජනප්‍රිය වෙච්ච "ග්වන්තනමේරා" ගීතයේ නමින් 2001 අවුරුද්දෙදි එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ නිෂ්පාදනය කෙරුනු "ග්වන්තනමේරා සුරුට්ටු" ලෝකෙ පුරාම ජනප්‍රිය වෙන්නත් වැඩි කාලයක් ගත වුනේ නැහැ. මධ්‍යම කියුබාවේ "ග්වල්තා අරීබා" ප්‍රදේශයේ වැවෙන දුම්කොළ වලින් හදන "ග්වන්තනමේරා සුරුට්ටු" බිබී "ග්වයිරා ග්වන්තනමේරා" සින්දුව ගායනා කරන බොහීමියානු තරුණයො ලෝකෙ පුරා ම හැම නගරෙක ම වගේ දකින්න පුලුවන් වුනා.



දකුණු ඉතාලියේ එක්තරා නගරයක මහජන චතුරස්‍රයක දි වීදි ගායකයෙකු "ග්වන්තනමේරා" ගායනා කරනවා අහගෙන හිටපු දුඹුරු පාට හමක් තියෙන ලoකාවේ තරුණයෙක් ඊට හරියටම අවුරුද්දකට පස්සේ එක්තරා හවසක, ඉර බැහැගෙන යන වෙලාවක "ග්වන්තනමේරා සුරුට්ටුවක" දුම් උගුරකින් පපුව පුරවාගෙන එයාගෙ පෙම්වතීට මෙහෙම කිව්වා.



"ඔයා දන්නවා ද, මට ආසයි දවසක හවානා නගරේ ලස්සන සුදුපාට ගොඩනැගිලි වලින් වට වුණ චතුරස්‍රයක මැද ඉඳගෙන ඔයාට කියන්න..."


"Guantanamera, guajira guantanamera
Guantanamera, guajira, guantanamera
Yo soy un hombre sincero, de donde crece la palma
Yo soy un hombre sincero, de donde crece la palma
Y antes de morir yo quiero cantar mis versos del alma"
"ග්වන්තනාමෝවේ තරුණිය, ග්වන්තනාමෝවේ තරුණිය..

මා අවන්ක මිනිසෙක්, පාම් ගස් වැවෙන ප්‍රදේශයක සිට පැමිණෙමි
මා හොඳ හදවතක් ඇති මිනිසෙක්, පාම් ගස් වැවෙන ප්‍රදේශයක සිට පැමිණෙමි

මා මිය යාමට ප්‍රථම, මාගේ ආත්මයේ ගීය ලියා තබනු කැමැත්තෙමි.."



Categories