Tuesday, June 14, 2011

පාරාදීසයට පියමනිමින්..




මම ගොඩක් ඉස්සර ඉදන් ම හිතාගෙන හිටියෙ රස්තියාදුකාරයෙක් වෙන්න. දිගට කොන්ඩෙ වවලා, කරාබුවක් එහෙම දාලා, ගිටාර් එකයි, කැමරාවයි අරගෙන, රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ඕන වෙලාවක හිතෙන ඕන ම තැනකට යන්න පුලුවන් නම් ඊට වඩා දෙයක් නෑ කියලයි මම හිතාගෙන හිටියෙ. ඒත් තවමත් ඒක එහෙමයි  කියල මට කියන්න බෑ. මොකද මම දැන් වෙනස් වෙලා. ඔය ඉස්කෝලෙ ගියත්, ගෙදර හිටියත් හැමෝම කියන විදියට හොදට ඉගෙන ගෙන "ලොකු මහත්තයෙක් වගේ ජීවත් වෙන්න මට ඔන උනේ නෑ. මම කැමති නිදහසට. මගේ ජීවිතේට දිගක්, පළලක් තියෙන අරමුණු තිබුනෙත් නෑ. ඉස්සර කවුරු හරි අනාගත බලාපොරොත්තුව මොකක් ද කියල අහුවහම මම කිව්වෙ දැන් නම් මට බඩගිනි, පුලුවන් තරම් ඉක්මනට මොනව හරි බඩට දාගන්න එක තමයි දැනට තියෙන එක ම අරමුණ කියලා. එහෙම හිටපු මම වෙනස් වෙන්න බලපාපු ලොකු ම හා එක ම හේතුව තමයි අදරය. මිනිස්සු ජීවිතේ පුරාම ඇවිදිනවා. එහෙම ඇවිදින ගමන් මුනගැහෙන හැම කෙනෙක් ගෙ ම හදවතට තට්‍ටු කරලා බලනවා තමන්ට ඕන අදරය එයා ගෙ ළග තියෙනවද කියලා. මමත් අවුරුදු ගානක් ම ඔහේ ඉබා ගාතෙ ඇවිදල තියෙන්නෙ මෙන්න මේ අදරේ හොයාගෙන කියල මට තේරෙන්නෙ දැන් තමයි. කොහොමින් කොහොම හරි මම හොයපු දෙ මට හම්බ උනා. බී.සී ලයිබ්‍රි එකේ පොත් රාක්ක්යක් අතරෙදි. එයා අනිත් අයට වඩා ගොඩාක් වෙනස්. ඕනම කෙනෙක් නම් එයාගෙයි තව කෙල්ලෙක් ගෙයි වෙනසකට දකින්නෙ කොන්ඩෙ මල් ගහල තියෙන එක විතරයි. ඒත් මම ඊට වඩා වෙනස්කම් ගොඩක් එයාගෙන් දැක්කා.  ඉතින් ඊට පස්සෙ ජීවිතේට ම පනාවක් ගාවල වත් තිබුනෙ නති මගේ කොන්ඩෙ හොදට තෙල් ගාල පීරුනා. කවදාවත් අයන් කරලා තිබ්බෙ නැති මගේ ෂර්ට් හොදට අයන් උනා. සායම් ගියපු ඩෙනිම් කලිසම් ටිකත් පිලිවෙලට ඉනට ම අදින්න ගත්තා. ජීවිතේකට පන්සලකට, කෝවිලකට ගියපු නැති "මම", "අපි" උනාට පස්සෙ ඔය දෙකටම යන්න පටන් ගත්තා. ඇත්තට නවසිය දහ හතේ ඔක්තොබර් වල පීතර්බුර්ග් වල, 1789 පැරිස් වල, මේ මොහොතෙත් ලිබියාවෙ වෙමින් පවතින වගේ දෙයක් මගේ අතුළෙත් උනා. මට ඒක හොදට දැනුනා. මට විතරක් නෙවෙයි, මගේ වෙනස හැමෝටම දැනුනා. "‍රැඩිකල් අස්වින්ද" අළුත් අස්වින්ද කෙනෙක් වෙන්න පටන් ගත්තා. සාම්ප්‍රදයිකත්වය, තැන්පත් බව වගේ දේවල් අලුත් "ප්‍රතිසන්ස්ක්‍රිත අස්වින්ද" ළග තියෙන්න ගත්තා. එහෙමයි කියලා කලින් තිබ්බ ගති ඔක්කොම නැති උනේ නෑ. ඒක නිස දැන මම "‍රැඩිකල් අස්වින්ද" වත්, "සාම්ප්‍රදයික අස්වින්ද" වත් නෙවෙයි, "අස්වින්ද" විතරයි. කෙටියෙන් ම කියනවා නම් "අස්වින්ද", "අස්වින්ද" උනා. තවමත් මම පාරක් දිගේ අවිදිනවා. ඒත් ඉස්සර වගේ ඔය මොකක් ම හරි පාරක, සාක්කු දෙකේ අත් දෙක දාගෙන "කාකාගෙ" කික් එකෙන් සම්ප්‍රදයට පයින් ගහන්න නම් නෙවෙයි. මට මුණගැහුනු කොන්ඩෙ මල් ගහපු ගෑනු ළමයා මට දවසක් "ලස්සනම ලස්සනම පාරාදීසයක්" ගැන කිව්වා. ඉතින් අපි දෙන්නම එකට අත් අල්ලගෙන ඒ පාරාදීසයට යන පාර ඉස්සරහට ම යනවා. අපිට විශවාසයි අපිට ම කියලා ජීවිතයක් එතන තියෙනවාමයි කියලා.....

0 comments :

Categories