Friday, September 16, 2011

කොළඹ හා අඩහදයා


තුන්මුල්ලේ හන්දියේ ඇති හැම පාරකට ම අතුළු වන තැන මාර්ග බාධක මුර පොලවල් තිබුන ද ඒවා පසු කරන තැන ම රඹුටන් හා දූරියන් වෙළෙන්දොත් හිටියා.




"බලපන් අතන තුවක්කු මෙතන රඹුටන්. ඔන්න ඔතන චයිනීස් රෙස්‍ටුරන්ට්, අන්න අතන සුපර්මාර්කට්. එතකොට අන්න..." රවී ඔහුගේ ගෙල පි‍ටුපසට හරවා කිව්වා. සැරදා, දුන් දාගෙන ඇදිල ගිය මට්ටක්කුලිය බස් එකක් නිසා රවී අන්තිමට කිව්ව එක අහුනෙ නෑ."ඒක හරි" ඔහු කිව්වා.
   කොළඹ නම් නගරයේ ඇති එක් අසිරියක් නම් එය මරන තුනක් මැද පැණි කන උන්ගේ නුවරක් වීමයි. කණ්ඩායම් තුනක් තුවක්කුවෙන් රට කරවන්නට තරගෙක යෙදී සිටියත්, කොටි බෝම්බ, ආන්ඩුවෙ බෝම්බ, දේශප්‍රේමී බෝම්බ, මැර බෝම්බ, අත්බෝම්බ, කාර් බෝම්බ, බිම්බෝම්බ මොන...ම්බ පිපිරුවත් කොළඹ නෙමෙයි බයවෙන්නෙ. මෙතන බෝම්බයක් පුපුරන කොට අතන පොතක් දොරට වැඩියා. මෙතන වෙඩි වදිල වැටෙන කොට අතන බර්ග්මාන්ගෙ චිත්‍රපටි උළෙලක්. එක තරුණයෙක් අතුරුදන් වෙනකොට තව තරුණයෙක් වේදිකාවක ගැලීලියෝ රගපෑවා. විශ්ව විද්‍යාල ශිශ්‍යයෙකුගේ හිසට ඇමති පුතෙකුගේ මැරයො පරාල ඇණ ගහනකොට කථිකාචාර්ය වරයෙක් තව ඇමතියෙකුට පොතක් පිළිගන්නනවා. විශ්ව විද්‍යාලයක් වැහෙන කොට කේම්බ්‍රිජ් එකක් ඇරෙනවා. දේශජ විද්‍යාවක් ගැන දාර්ශනික සාකච්චාවක් ඉවර වෙලා දෙකට බෙදෙන සුජාත සරසවි ශිශ්‍යයො දෙපිල බෙදිල ක්ශනික කෝපෙන් බයිසිකල් චේන්, යකඩ පොලු, වැලි පුවරවපු බෝතල් වලින් ගහගන්නව. සරසවි ශිශ්‍යයාට ක්ශනික කෝපෙ එනකොට ඒ ආයුධ පදුරු අස්සෙන්, කමීස අස්සෙන් පහල වෙනව. අවිහින්සාවාදය ගැන සම්මන්ත්‍රන්යක් ඉවරවෙලා වඩින තරුණ භික්ශුවක් තම්න්ට පහර දෙන්න එන අනික් පිලේ මහණෙක් බය කරන්න සිවුර අස්සෙන් දැලි පිහියක් ගන්නවා. කොළඹ නම් අසිරිමත් නගරයක්. "ඕක තමයි මම කොළඹට කැමති!" මේ අසිරිමත් කොළඹ ගැන ප්ලේන්ටී බිබී කතා කරපු දවසක රවී කිව්වා. මේ විකාරරූපී අසිරිය දකින්නට තමන් පෙලඹවූයේ රවී බව දමයන්තට මතක් උනා. එවිට ම රවීගේ ට්‍රේල් බයික් එක වන්ගුවක් ගත්තෙන් දම්යන්ත රවීගේ සවිමත් දෙවුර තදින් අල්ලගත්තේය.
    "කොහෙද මේ යන්නෙ?" දමයන්ත ඇහුවා.
    "ඇයි උඹට මාව තවත් අවිශ්වාසද?" රවී ඇහුවා.
     රවී මෝටර් සයිකලය ඉන්ග්‍රීසියෙන් කතා කරපු සිකියුරිටි කෙනෙක් හිටපු ගේට්‍ටුවක් ලග නවත්තල සුඛෝපභෝගී පුස්තකාලයට ඇතුල් වුණා. මේ බ්‍රිටිශ් කවුන්සිල් පුස්තකාලෙ බව දමයන්ත වටහා ගත්තා. "ඕන පොතක් ‍තෝරල මගෙ කාඩ් එකට අරන් දෙන්නම්. මරු කෑලිත් එනව මෙතෙන්ට කැරකිල බලපන්" රවී කිව්වා. එහි ගැවසෙන්නන්ගේත්, පොත් රාක්ක තබා තිබූ ආකාරයේත් වූ අමුතු ගතිය නිසා දමයන්ත රවීගෙ සෙවනැල්ලෙන් ඈතට නොය ඉන්න වගේ තැත් කෙරුවා. "බය නැතිව හිටපන්" කියන්න අඩහදය හිටියා නම් කියල ඔහුට හිතෙන්න ඇති සමහර විට.
    පුස්තකාලෙන් එළියට එනවිට දමයන්ත ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගෙ "බ්ර්ඩ්ස්" සිනමා පටය බලල විතරක් නෙමේ, ඔහුගෙ අතේ නයිපොල්ගේ මිගෙල් ස්ට්‍රීට් පොතත් තිබුණා. රවී ඔහුට මුලින් ‍තෝරා දුන්නෙ නයිපොල්ගෙ අ හවුස් ෆෝ මිස්ටර් බිස්වාස් වුවත් 'මගෙ අම්මේ මේකෙ ලොකු" කියල දමයන්ත කියපු හීන්දා මිගෙල් ස්ට්‍රීට් අරන් දුන්නා. එදා රෑත් කුඩා නගරයක ම මිනිස්සුන්ට පහර දෙන කුරුල්ලන්ගේ ත්‍රාසය දමයන්තට මැවිල පෙනුන. දමයන්තගේ ඉන්ග්‍රීසි චිත්‍රපටි බැලීමත්, පොත් කියවීමත් එදා එලෙස ආරම්භ විය. දැන් සැලකිය යුතු ඉහල, මට්ටමකින් ඒ භාශාව හසුරවන සැටි දකින්නට ඒ මිත්‍රයා සිටියේ නම් කියා ඔහුට විටෙක නිතර දෙවේලේ සිතේ.
   පිළිවෙළකට අසුරන ලද, දූවිලි වලින් තොර, එකිනෙක අතර මනාව සේ දුර ඇති, පොත් රාක්ක මත දමයන්ත නමින් පමනක් දැන සිටි ලේඛකයන්ගේ පොත්, දර්ශනීය කවර වලින් තිබුණා. අලුත් ලෝකයකට ගියා වගේ ඔහුට දැනුනා. රවී කොළඹ පෙනුමැති කොන්ඩා මෝස්තර, කතාලතා ගමන්ලතා ඇති තරුණ තරුණියන් කිහිප දෙනෙකුට ම අත වනමින් සිනමා හා නාට්‍ය පොත් ඇති පැත්තට ගියා. දමයන්ත පොත් ‍තෝරන තවත් අය ඉන්ග්‍රීසියෙන් කතා කරයි කියන බයෙන් කවුරුත් නැති රාක්කයක් ලගට ගියා. එතන තිබුනෙ "එන්" අකුර. නබකොව්, නයිපොල්, නාරායන්... එතන්ට ආපු රවී නයිපෝල් ‍තෝරල දුන්නෙ එතකොටයි.
   "මෙව්ව මට තේරෙයි ද මචන්?" දමයන්ත ඇහුවා.
    "කියවපන්, එතකොට තේරෙයි. කඩ්ඩ ඉගේන ගත්තෙ නැත්තන් උන් හෝදයි උඹෙ ඔලුවට අත. "දවසකට පැය දෙකක් කියෝපන්" රවී කිව්වා. "පලවෙනි පි‍ටු දහයට වඩා දෙවෙනි පි‍ටු දහය ලේසියි. ඊට වඩා තුන් වෙනි පි‍ටු දහය ලේසියි. පි‍ටු ලක්ශ දෙක තුනක් කියෝන කොට කඩ්ඩ හැදෙනව!" රවී හිනා උනා. "විහිලු නෙමෙයි."
   "උඹට කව්ද කියවන්න පුරුදු කෙරුවෙ?" දමයන්ත කුතුහලයෙන් ඇහුව.
   "අපේ තාත්ත බන්" කියපු රවී ඒක මග අරින්න නයිපෝල්ගෙ පොත ‍තෝරල දුන්න. "මෙන්න මේක කියෝපන්. ඉක්මන් කරපන් ‍ෆිල්ම් එකක් තියෙනව බලන්න." රවී එතනින් ඉවත්ව ගියා.
   "ඔහුගෙ තාත්තා ඔහුට කියවන්න පුරුදු කරපු හැටි ගැන දැනගන්නට දමයන්තට කුතුහලයක් ඇති උනා.
   "උඹට කරේ තියාගෙන ඉන්න තවත් කෙල්ලෙක්" යැයි කිව්ව ද බ්‍රිටිශ් කවුන්සිල් පුස්තකාලෙ ඉදිරිපස ලොබියෙ නියමිත වෙලාවට පැමිණ සිටි තරුණිය දකින විට ම දමයන්තගෙ හිත උද්දාමෙන් ඉපිලුනා. ඇය දැනටමත් ඔහුගෙ කරේ ඉන්න කෙල්ලෙක් බව අවබෝධ වී ඔහුටත් හිනා ගියා.
    දිල්කි ඔහුටත් රවීටත් අතට අත දුන්නා.
    "යාලුව මට ඔක්කොම විස්තර කිව්ව දමයන්ත ගැන" දිල්කි දමයන්තට කිව්වා. ඇයගේ කටහඩින් දමයන්ත කියන නම කියනව ඇහෙද්දි ඔහුගෙ රෝම කූප උද්දාමවත් උනා. ඒත් ඈ සහ රවී මීට පෙර වරක් වත් මුන ගැසී අති බව දැනී පරාජිත හැගීමක් අති වෙලා. එය ඉරිසියාවක් බවට තමන් ඇතුලෙ ම පෙරළෙනව දමයන්තට දැනුනා.
    "රවී යෝජනා කරපු විදියට කොළඹ කැම්පස් එකේ ආපනශාලාවට ගොස් ටිකක් වෙලා කතා කරන්න දිල්කි කැමති උනා. "මන් ආසයි පීචමේ ප්ලේන්ටියට. කෝප්පෙ අල්ලන අල්ලන තැන ඇලෙනව." ඇය හිනා උනා.
    "දිල්කි අපේ කැම්පස් එකේ ද?" දමයන්ත ඇහුවා.
    "නෑ මම ඉස්සර ඉදන් ම ඇවිත් තියෙනව" ඇය කිව්වා.
   අනිවාර්යෙන් ම ඇය එන්න ඇත්තෙ ඇගේ පෙම්වතා එක්ක වෙන්න ඇති කියල හිතල දමයන්ත තැති ගැනුනා.
   රවී මෝටර් බයිසිකලේ දිල්කිව කැම්පස් එකට ඇරලල, දමයන්ත ‍රැගෙන යාමට නැවත එන්න යෝජනා කළ විට දිල්කි ඒක ආචාරශීලීව ප්‍රතික්ශේප කිරීම ගැන දමයන්ත ඇතුලෙන් සතු‍ටු උනා. "මම දමයන්තත් එක්ක පයින් එන්නම්. මිනිත්තු දහයක් යයි ඔය ටික ඇවිදින්න." ඇය කිව්වා. "දමයන්ත පයින් යන්න කැමති නෙ?" ඇය අහුවා.



උපුටා ගැනීමකි:- ලියනගේ අමරකීර්තිගේ රාජ්‍ය සම්මාන ලැබූ "අටවක පුත්තු".
                           (පි‍ටු 219-222)



0 comments :

Categories