Sunday, October 20, 2013

"ලැබීම හා දැනීම" (නිදහස)

ඇත්තටම නිදහස කියන්නෙ මොකක් ද? ඔයා දන්නවාද? උඩු හුළඟට අහු වෙලා කිසිම අරමුණක්, බැඳීමක් නැතුව එහාට මෙහාට පාවෙන පිහාටුවකට නිදහස දැනෙනවා ඇති නේද? මොකෝ මේ ලෝකෙ කවුරුවත් කියන්නෙ නෑ නෙ "ඒ මගේ පිහාටුව" කියලා. කවුරුවත් ඒ පිහාටුව පස්සෙ එළවගෙන එළවගෙන ගිහින් පිහාටුව අල්ලගෙන අතේ ගුලි කරගෙන තියාගෙන ඉන්න හිතන්නෙ නෑ නේ. ඒ වගේම අහවල් වෙලාවට අහවල් තැනින් ගොඩබාන්න ඕන කියලාවත්, මෙන්න මේ කාලය තුළ මෙන්න මේ ප්‍රවේගයක් රඳවාගන්න ඕන කියලවත් සිතුවිල්ලක් මේ අපි කතා කරපු පිහාටුවට තියෙන්න විදියක් නෑ නෙ, නේද? එතකොට ඒ පිහාටුවට ඇත්තටම "නිදහස" කියන දේ දැනෙනවා ඇති නේද? 



ඔයාට මතකද අපි පොඩි කාලේ රෑට තරු පිරිච්ච අහස දිහා බලාගෙන හිතුව දේවල්? ඔන්න මo දැන් ඒ කාලෙ කිව්ව කවි නම් කියන්න යන්නෙ නෑ. මොකෝ මo දන්නවා ඔයාට දැන් ඒවා මතක් වෙලා තියෙන බව. එදා මහ විසාල ආකසෙ පුන්චි පුන්චි තරු ගොඩක් විසිරිලා තිබ්බා. හරියට පොලොව පුරාම, රටවල්, නගර, ගම් පුරා ම විසිරිලා ආකාසෙ දිහා බලo හිටපු අපි වගේමයි. ඒ තරු දිහා බලාගෙන අහසෙ ඇඳිලා තියෙනවයි කියපු නා නා ප්‍රකාර රූප ඇත්තටම හොයන්න පොඩි ගේමක් දෙන ගමන් අපි හැමෝම හීන මැව්වෙ කවදා හරි තරුවක් වගේ වෙන්න. ඒ ඇයි කියලා එදා මට නම් හිතුනෙ නෑ. දැන් පොඩ්ඩක් හිතලා බලන්න ඕන. ඇයි දෙයියනේ තරුවකට මොනවද අඩු? හැමදෙයක් ම තියෙනවා නෙ. ම්ම් ඒ කියන්නෙ තරු වලට හැමෝම කැමති. තරු දිලිසෙනවා. තරුවලට තනියට හඳ ඉන්නවා. ඇයි බොලේ තාරකාවියොත් ඉන්නෙ. තරු එකතු වෙලා දෙවිවරුන්ගෙ රූප හැදෙනවා. හර්කියුලිස් වගේ. ඒ දෙවියො තමයි ලෝක පාලනේ කරන්නෙ. ඒ කියන්නෙ තරුවක් වෙනවා කියන්නෙ යකඩෝ දිව්‍ය සැප ලැබෙනවා වගේ වැඩක් නෙ. අහ් වැරදුනා. දිව්‍යලෝකෙ තියෙන්නෙත් තරු අතරෙ නේ. දැන් ඇති තරු ගැන කතාව. එතකොට මේ තරු වලට, අපි පොඩි කාලෙ එයාලා වගේ වෙන්න හීන මවපු තරු වලට අපි ඉස්සෙල්ලා කතා කරපු නිදහස දැනෙනවා ඇත්ද? 



හවසට ලස්සනට ඉර බැහැගෙන යන වෙලාවක කාත් කවුරුත් ම නැති සුදු පාට වැලියි, රළ බිඳෙන සද්දෙයි, රතු පාට බෝලයක් වගේ තියෙන ඉරයි, ඔයයි විතරක් ම ඉන්න වෙරළකදි, එහෙමත් නැත්නම් ආකාසෙ ගෑවෙන්න තරම් උස දේවදාර ගස් පිරිච්ච කැළයක් මැද්දෙන් වැටිච්ච අඩි පාරක් දිගේ, ගස් මුදුන් අස්සෙන් පෙරිලා එන ස්පොට් ලයිට්ස් වගේ පේන ඉර එලිය මැද්දෙන් ඇවිදගෙන යනකොට, එහෙමත් නැත්නම් උස කඳු මුදුනකට නැග්ගා ම, පාලු කෝච්චි ස්ටේෂන් එකක තනි වෙච්චි වෙලාවක, ඇය හරි ඔහු හරි එක්ක, ඔය දෙන්නාගෙ ටිකක් දිග සෙල්ලමකට පස්සෙ කලුවරේ තනිවෙච්චි වෙලාවක හරි ඔයාට දැනුන දේට කියන නම මොකක්ද කියලා කවදා හරි ඔයා හිතලා තියෙනවා ද? 



පිහාටු, තරු, කුරුල්ලො, සමනලයො, චූටි බබාලා... මේ හැම කෙනෙක්ම, දෙයක් ම නිදහසේ ස0කේත හැටියට මේ ලෝකෙ භාවිතා වෙන දේවල් නෙ. ඒ කියන්නෙ සමනලයොන්ට, කුරුල්ලොන්ට, චූටි බබාලට මෙන්න මේ නිදහස ඇත්තටම දැනෙනවා ඇති නේ. ඒක නේ අපි හැමෝම මේ අතරින් කෙනෙක් හරි දෙයක් හරි වෙන්න ට්‍රයි කරන්නේ. ඒත් පොඩ්ඩක් මෙහෙම හිතන්න කෝ. ඔන්න එකම එක මිනිත්තුවකට ඔයා කුරුල්ලෙක් උනා කියලා හිතන්නකෝ. දැන් ඔයා තද නිල් පාට අහසෙ, ගස්, ගල්, කඳු, ගෙවල් හැම දේකටම උඩින් පියාඹමින් ඉන්නේ.  ඔයාට ඕන තද නිල් අහසෙ ඈතින් ඈතට, ඈතින් ඈතට අනන්තයට වෙනකන් ම වෙන කිසිම කෙනෙක්, කිසිම දෙයක් ගැන හිතන්නෙ නැතුව ෆුල් ම ෆුල් නිදහසේ පියාඹලා යන්න. ඒත් පොඩි අවුලක් තියෙනවා. ඔයා කෑම සොයාගෙන එනකන් ඔයාගෙ කූඩුවෙ ඉන්න චූටි පැටව් එක්ක කිරිල්ලි බලo ඉන්නවා. ඔයා ඉස්සරහට එන හුළo කපාගෙන ඉස්සරහට යන එක එච්චරම ලේසි වැඩක් නෙවෙයි. ඒ වගේම පහළින් ලස්සනට පේන ලෝකෙ ඔයාට හුඟාක් දුරයි වගේ දැනෙනවා. හැමදේම ඔයා ඉස්සරහ ලස්සනට තිබ්බට ඒ හැම දෙයක්ම සහ ඔයා අතර හිතනවට වඩා වැඩි දුරක් තියෙන බව ඔයාට දැනෙනවා. එතකොට,,, එතකොට ඔයාට ඇත්තටම දැන් දැනෙන දේට කියන්නෙ නිදහස ද? 

මට හැමදාම ඕන උනේ බොහීමියාවෙක් වෙන්න. ඒ කියන්නෙ නිදහසේ ජීවත් වෙන මිනිහෙක් කියලා හිතාගන්නකෝ. මම කැමති කෑම කන්න,  මම කැමති බීම බොන්න, මම කැමති විදියට අඳින්න, මම කැමති සින්දු කියන්න,



මo කැමති කතා ලියන්න., මම කැමති තැන් වල යන්න, මම කැමති කෙල්ලො එක්ක නිදාගන්න, මම කැමති විදියට හිතන්න,, මෙන්න මේවා ඔක්කොම කරන්න පුලුවන් නම් මo නිදහස් මිනිහෙක් කියලයි මo ඉස්සර හිතුවෙ. අද මo මේ ඔක්කොම කරනවා. එතකොට මo නිදහස් මිනිහෙක් වෙන්න එපැයි. ඒත් පොඩි අවුලක් තියෙනවා. ලෝකෙ තියෙන මොන කෑම කෑවත් මට කිසිම රසක් දැනෙන්නෙ නෑ. "ඔච්චර බොන්න එපා" කියන්න කෙනෙක් නැති බව නිතරම දැනුනත් උගුරකට වඩා බොන්න හිතෙන්නෙ නෑ. ඉටැලියන් ෂර්ට්ස් කොච්චර ඇඳත් කිසිම සනීපයක් දැන්නෙ නෑ. මo කියන සින්දු අහන්න, මo ලියන දේවල් කියවන්න කොච්චර මිනිස්සු හිටියත් ඒ අය සහ මම අතර මහා දුරක් තියෙනවා වගේ දැනෙන්නෙ. හරියට ගස් ගල් වලට මo සින්දු කියනවා, දේවල් ලියනවා වගේ. කොච්චර කෙල්ලො ආශ්‍රය කරත් ඒ එක්කෙනෙක් වත් ළඟට එනකොට අර කියනවා වගේ හාට් එක බීට් වෙන්නෙ නෑ. මට උන් එකෙක් වත් දැනෙන්නෙ නෑ. මට මේක තේරෙන්නෙ නෑ. මo නිදහස් මිනිහෙක්. ඒත් මට ඒ නිදහස දැනෙන්නෙ නැත්තෙ ඇයි?

0 comments :

Categories