මම උදේ ඇහැරිච්ච ගමන් ම ඇස් දෙක වහගෙන එයාගෙ ඇස් දෙක මතක් කරගන්න උත්සාහ කරනවා. ඒත් මට එක එක දවසට මැවෙන්නෙ එක එක විදියෙ ඇස්. ඒ කියන්නෙ එක දවසකට සිහින් දිගැටි විදියටත්, තව දවසකට රවුම්, ලොකු විදියටත් මට මැවෙනවා. මොන තරම් වෙලා එයාගෙ ඇස් දිහා බලාගෙන හිටිය, අර කියන විදියට ගලේ කෙටුවා වගේ නිශ්චිත රූපයක් මට මැවෙන්නෙ නැත්තෙ ඇයි ද කියන එක මට තාමත් හිතාගන්න බැහැ. මම වාදකයෙක් නොවී සිත්තරෙක් වුනා නම් ඒ ඇස්, ලොකු කැන්වස් රෙද්දක කලු පාට තින්තෙන් ඇඳලා මගේ කාමරේ එල්ල ගන්න තිබුණා කියලා ඒ හැම වෙලාම මට හිතෙනවා.
ජර්මන් කෙල්ලොන්ගේ ඇස් නිල් පාට බවත්, ඉතාලි කෙල්ලොන්ගෙ ඇස් කලු පාටට හුරු දුඹුරු පාට බවත් දැනගන්න වෙහෙසකර, දිගු රාත්‍රීන් ගණනාවක් ම ගත කරන්න සිද්ද වුනත්, එයාගෙ ඇස් වල තියෙන නිල්, කලු, දුඹුරු පාටවල් වල මිශ්‍රණයෙන් ඒ පාට වල් වෙන් කරගන්න මට තත්පර කිහිපයකින් පුලුවන් වුණා. ලැබ් එකක් ඇතුලෙ ඩීඑන් ඒ ටෙස්ට් එකක් කරලා හොයාගන්න ඕන හැම දෙයක් ම ඇස් දෙකක් දිහා බලලා දැනගන්න පුලුවන් කියලා හොයාගත්ත ලෝකෙ පලවෙනි කෙනා මම වෙන්න ඕන කියලා එයාගෙ ඇස් මට කිව්වේ අමුතුම ආඩම්බරයක් පුරවාගෙන මගේ පපුව උඩ ඔලුව තියන් හිටපු වෙලාවක.
එකිනෙකාගේ ඇස් දිහා නිරුවත් ව බලාගෙන හිඳිමින් කරන යෝග ක්‍රමයක් තියෙන බව අපි දැනගත්තෙ, අපි ඒක කරන්න පටන් අරගෙන ශීත කාල දෙකකට විතර පස්සෙ. ඇත්තටම අපි කරමින් හිටිය දේට කියන නම හොයාගත්ත එක විතරයි එතන දි වුනේ. ඒ යෝග ක්‍රමය පාවිච්චි කරලා කන්‍යාවක් ගැබ් ගන්නවන්න පුලුවන් කියලා අපි දැනගත්තෙ ඊටත් පස්සෙ. රමණයේදි එක් වෙන්නෙ ශරීර දෙකක් විතරක් වුණාට ඇස් දිහා බලා හින්දීමෙන් සිද්ද වෙන්නෙ ආත්ම දෙකක් එකට එකතු වෙලා බාහිර හැමදේකින් ම වෙන් වෙච්ච අමුතුම ලෝකෙකට යෑමක් නිසා ඒක වෙන්න බැරි දේකුත් නෙවෙයි කියලයි, මම නම් හිතන්නෙ.
"පපුවෙ හිර වෙලා තියෙන, හිතේ හැoගිලා තියෙන, වචන වලට පෙරලගන්න බැරි හැඟීම් ඇස් තව කෙනෙක්ට කියන එකත් එක්තරා කලාවක්" එහෙම කිව්වේ මේ කතාව කියවපු "ඇගේ ඇස්."
0 comments :
Post a Comment