Friday, May 3, 2013

"අලුතෙන් කියවීම"





"ඉක්මණින් ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්ට ඇහැකි
මළ ගිය ඇත්තන් කැටුවම"
               -තෝකියො, 1963

                            මළවුන්ගේ  අවුරුදුදා සරච්චන්ද්‍ර



මා මේ වෘතාන්තය ලියන්ට පටන් ගත්තේ, එහි කියවෙන දේ සිදු වී අවුරුද්දක් පමණ ගත වූ පසු ය. මේ කථන‍ය, කිසියම් කෙළවරකට පමුණුවා අවසන් කළ යුතුය. එහෙත් සිදු වූ දේ නම් එවැනි කෙළවරකට පැමිණ නැත. ඇතැම් විට, කවදා හරි, මෙහි දෙවෙනි කොටස ලියන්ට මට ඉඩ ලැබෙන්ට පුළුවන. එහෙත් අනාගතයෙහි, කිය යුතු දෙයක් සිදු වේ දැයි මම නොදනිමි. නොරොකෝ මළා යකියා මට මේ කථාව අවසන් කරන්ට තිබුණි. එවිට මෙය, කරුණා රසයෙන් පිරි නිබන්ධනයක් යැයි ඔබ කියනු නිසැක ය. එහෙත් නොරිකෝ තවමත් ජීවත්ව සිටියි. මම ද ජීවිතයේ අග්ගිස්සෙහි ඒ මේ අත වැනෙමින් සිටිමි. කථාවක් නම් පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කළ හැකිය. එහෙත් ජීවිතය, වියා හමාර කළ නොහැකිව, එතනින් මෙතැනින් එල්ලෙන පත් ඉරුවලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමාන ය. මිනිසුන් මරණය පතන විගසින්, ඔවුන් වෙත මරණය නොපැමිනේ. ඔවුහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වෙති.
                                                                                           මළගිය ඇත්තෝ-සරච්චන්ද්‍ර

කථා පුවත් දෙක අතර ද සමානත්වයක් දැකිය හැකි ය. අලුතින් සරණ බන්ධනයකට ඇතුළත් වූ යුවලකට වනාන්තරයක් මැදින් ගමන් කරන අතර හදිසියේ මුණ ගැසුන වනචාරියෙකු නිසා සිදු වූ උපද්‍රවයක් කථා දෙකටම වස්තු වේ. කථා දෙකට ම පසුබිම් වනුයේ වනාන්තරයකි. ප්‍රධාන චරිත වල සිත් තුළ හටගත් අවුල් ජාලය එමඟින් සoකේතවත් කොට දැක්වේ. සැමියා ගොරතර විපතකට ජාජන වීම කථා දෙකතම පොධු ලක්ශනයකි. කථා දෙකෙහිම එන බිරිඳ පතිවත බිඳීමේ වරදට හසුවේ. ඔවුන්ට එහි අනිෂ්ට විපාක විඳීමට සිදු වේ. රෂෝමොන් චිත්‍රපටියේ කථා පුවත හා මනමේ නාටකයේ කථා පුවත අතර බාහිර හා අභ්‍යන්තර ලක්ෂණ අතින් සමානත්වයක් තිබේ. බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණ පෑ බිරිඳකගේ ක්‍රියා කලාපය අවිනිශ්චිත හැඟීමක් ඇති වන පරිදි නිරූපණය කිරීම අකුතගව ගේ කෙටි කතාව, කුරොසවගේ චිත්‍රපටය, සරච්චන්ද්‍රගේ මනමේ නාටකය යන තුනටම පොදු වූවකි. අකුතගවගේ මසගෝ, කුරොසවගේ මසගෝ හා සරච්චන්ද්‍රගේ මනමේ කුමරිය අතර සමානකම් ඇත. එමෙන්ම කෙටි කතාවේ හා චිත්‍රපටයේ තජෝමොරු හා නාටකයේ වැදි රජු අතර ද සමානකම් ඇත. සරච්චන්ද්‍ර තුළ මනමේ කථාව තෝරා ගැනීමේ අදහස පහළ වන්නට ඇත්තේ රෂෝමොන් චිත්‍රපටය නැරඹීමෙනැයි නිගමනය කළ හැකිය.

                                                                                        රෂෝමොන්-ආරිය රාජකරුණා




සුළo රොදක් සේ නොසිතූ මොහොතක
විදුලි අවන්හල් පැද්දෙන දොර අතරින්
දෙවෙන්දොරා සo අතරමo ව ඔබ ආවා
සුළo රොදක් සේ ඔබ ආවා
දෙවෙන්දොරා සo ඔබ ආවා..


ඔන්න දෙවෙන්දොරා සo, ලoකාවෙන් ජපානෙට ගියපු ලෝකෙ තවත් රටවල් ගණනාවක සoචාරය කරලා තිබුණ සිත්තරා. ගුප්ත භාවයේ අඳුරු මුල්ලක හිර වුනු ආත්මයක් විදියට පිටතට පෙනුන දෙවෙන්දොරා සoට මුණගැහුන නොරිකෝ සo ඔහුව දැක්කෙ එහෙමයි. ඇතුළට විවෘත වෙච්චි හදවත් තියෙන මිනිහෙක්. "ගෑනු යටි හිතෙන් කැමති නරුමයන් වගේ මිනිස්සුන්ට" යුගාන්තයෙ කොහෙ හරි තැනක එහෙම තිබ්බා මතකයි. එතකොට මෙන්න මේ කියාපු අඳුරු, ගුප්ත ආත්මෙට නොරිකොගෙ හිත යනවා. ඒ අඳුරට යටින් තිබ්බ කලාකාමී සිත්තරාව නොරිකෝ දැක්කා වෙන්න ඕන. කබුකි නැටුම් බැලීම, කෝපිහල් වලට ගිහින් පැය ගණන් නිදහසේ කතා කර හිඳීම වගේ සිද්ධි වලින් දෙවෙන්දොරා සo ජීවත් වෙන්න ආශා කරන්න ගන්නවා. ඔහු චිත්‍ර ප්‍රදර්ශන පවා පවත්වා විශාල ප්‍රසිද්ධියක් ලබාගන්නවා.

 මේ වගේ කීර්තියක් ලබපු මිනිහෙක්ට තමන් සුදුසු ද කියලා නොරිකෝ සo ට හිතෙනවා. ඒත් ඒ ලොකු මිනිහා ආපහු නැගිට්ටෙව්වෙ ඈ ම බව ඇගේ යටි හිත දන්නවා. එතකොට නොරිකෝ සoට ගැන ඇතිවුනේ ආදරයක් ද, අනුකම්පාවක් ද කියලා කියපල්ලකෝ බලන්න. මම නම් හිතන්නෙ මුලින් අනුකම්පාවක්. පස්සෙ ඒක ප්‍රේමය බවට ම හැරෙනවා. අනුකම්පාව කියන්නෙත් ප්‍රේමයේම කොටසක් බවට පත්වෙනවා.ඔන්න ඔය අතරෙ නොරිකෝ ගැන තව තව මිනිස්සුත් උනන්දුවක් දක්වන්න ගන්නවා. දෙවෙන්දොරා සo හිතන්නෙ තමන්ට වඩා ඒ කෙනෙක් නොරිකෝට සුදුසු බව. ඔවුන් ගොඩාක් ප්‍රශ්න වලට මූණ දෙනවා. ඒත් කතාව දිගටම ගලාගෙන යනවා. දෙවෙන්දොරා සo, නොරිකෝ සo ව විවාහ කරගන්න ඔන්න මෙන්න තියෙද්දි එක්තරා සිදුවීමක් නිසා දෙවෙන්දොරා සo සිය දිවි හානි කරගන්නවා. එහෙමනෙ උඹලා කියවලා තියෙන්නෙ. ඒත් එහෙමම නෙවෙයි වුනේ. ඉන්නකෝ මo සිද්ධිය කියන්න.

දෙවෙන්දොරා සo, නොරිකෝට ගැලපෙන්නෙ වෙන කෙනෙක් කියල අඟවපු කාලෙ දෙන්නා එක්ක කැලයක් මැද්දෙන් ගමනක් යනවා. ඒත් දෙවෙන්දොරා සo එහෙම කිව්වෙ ඇත්තටම නොරිකෝ ගෙ සතුට බලපොරොත්තුවෙන් බව නොරිකෝ දැනන් හිටිය ද කියන්න මම දන්නෙ නෑ. ඔන්න දෙන්නත් එක්ක ටික දුරක් යනකොටම.. හත්තිලව්වයි කොහෙන්දො පහත් වුණ ටෝනේඩෝවකට අහු වෙලා මේ දෙන්නා ශිල්ප නිමා කරලා දිසාපාමොක් ආචාර්ය වරයෙගෙ දුවත් කැන්දන් ආයෙම බරණැසට යමින් හිටපු මනමේ කුමාරයයි, මනෙමේ කුමාරි යි වෙනවා. බුබුලු නගින බෙලි කටු කිව්වාලු.

ඊට පස්සෙ වුන දෙවලුත් උඹලා දන්නව නෙ. වැදි රජා. කඩු ෆ‍යිට් එක. කඩුව දුන්නෙ නැති සීන් එක. ඔන්න වැදි රජ්ජුරුවො මනමේ කුමාරයව මරල දැම්මයි කියමුකො. ඊට පස්සෙ අපේ මනමේ කුමාරි වෙච්චි නොරිකෝ සo,
     
දිරියෙන් යුධ කළ-ඔබ දුටු වේලේ
මොහොතින් සිත මා-පිරුණයි ආලේ
නැතිමුත් රජකම- ඔබමයි පතන්නේ
ඇත මට හිම ගිර- ඔබ සමගින්නේ

මනමේ රජු ඔබ -ගෙල සිඳලන්ටා
කඩුව ඉල්ලු සඳ- ඔහු වළකන්ටා
කළ තැන දුටුව ද- ඔබ ගලවන්ටා
සිතුනේ කඩුව ඔබ-අතටම දෙන්ටා
                                - මනමේ 



කියනවා. මේ වෙනකොට මනමේ කුමාරිට තමන් කාලයක් නොරිකෝ සo වෙලා හිටපු බවත්, තමන්ට අවoකව ආළය කරපු දෙවෙන්දොරා සo හෙවත් මනමේ කුමාරයට තමන් ද්‍රෝහි  වුණ බවත් අමතක වෙනවා. මේ අතරෙ ඝාතනයට ලක් වෙච්චි දෙවෙන්දොරා සoගෙ ආත්මෙ ඇවිත් මනමේ කුමාරිට විතරක් ඇහෙන්න.. 


නොරිකො සo නිදියන්න..
නිදියන්න හොඳට ම රෑ වෙලා
මට පාලු නෑ මේ හතර රියනට
ඔබෙ ආදරේ සුදු ලිලී මල් පිපිලා

ඔබට බෑ නවතින්න මාළඟ
යායුතුයි හෙට ජීවිතේ සොයලා
කෝපි හල් මග බලා ඇති
යන්න ඒ වෙත මගේ මතකය
අතීතෙට පවරා..

ඔබට බෑ වැළපෙන්න දින දින
කාලයේ රුදු අණසකට පිටු පා
කබුකි ර0ගන අලුත් වී ඇත
යන්න ඒ වෙත මගේ සෝ බර
කරලියෙන් බැහැලා..
                   -රවි සිරිවර්ධන

තමන්ට ද්‍රෝහි වෙච්ච "නොරිකෝ සo-මනමේ කුමාරි" ගැන "දෙවෙන්දොරා සo-මනමේ කුමාරයගෙ"ගෙ අවන්ක ආදරේ ඔන්න ඔය විදියට පෙන්නනවා. ඒත් මේ කිසිම දෙයක් මනමේ කුමාරිට ඇහෙන්නෙ නෑ. දැන් උඹලා බලo ඇති මොන රෙද්දක් ද මේ වෙන්නෙ කියලා. පොඩ්ඩක් හිටපල්ලාකෝ කියනකන්. උඹලා හිතුවා හරි. වැදි රජා එහෙම එසේ මෙසේ මිනිහෙක් නෙවෙයි. මනමේ කුමාරි මෙච්චර තමන්ට ප්‍රේම කරපු තමන්ගෙ ස්වාමියාට ද්‍රෝහි වුනා නම් අහම්බෙන් මුණගැහුනු මට මොනවා නොකරා දැයි වැදි රජා හිතනවා. 

අන්ද මන්ද වූයේ මසිතා- මෙ පුවතින
කින්ද වූයේ නොදැනේ අරුමා
සරණ කර සිටි නරණ හිමි හට
කරන අණ වින මෙවැනි බිහිසුණු
සින්ද වූ ගෙල සැමියා කවර සෙනේ
යන්ට යව වනේ නොසිටා
අමන ගති ඇති මෙවන් අඟනන්
ම වැනියන්හට කුමන සරණ ද?
                                 මනමේ

මළ කෙළියයි ඔන්න දැන් උඹලා දන්න විදියට ම මනමේ කුමාරි තනි වුනා. අල්ලපු අත්තයි, පය ගහපු අත්තයි ඔක්කොම නැති වුනා. ඒත් එහෙම ම වුනේ නෑ යි කියලා මo හිතුවොත්.. මේ නාට්ටිය බල බල රoග ශාලාවෙ මුල්ලකට වෙලා තරුණ ජෝඩුවක් හිටියා. ඒ කොල්ලා, කෙල්ලගෙ කර වටේ අත් දාගෙන ප්‍රේමයෙන් වෙළිලා හිටියේ. 


රඟ හල දැන් ඇත අඩ අඳුරේ
අප දෙදෙනා පෙම් පිළිවඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනි වී ඇත හිම ගිරි අරණේ..
                                     -විජේරත්න වරකාගොඩ


අර කොල්ලා, තමන්ට තුරුලු වෙලා හිටපු කෙල්ල ට එහෙම කියනකොට ම ආපහු අර කාලකන්නි ටෝනේඩෝ එක හමන්න ගත්තා. රoග ශාලාවෙ හිටපු ඔක්කොම මිනිස්සු, භාණ්ඩ, බල්ලො බලල්ලු පවා ඒකට අහුවුනා. හුට්ටප්පරයයි. මෙන්න යකෝ ආයෙම මනමේ කුමාරි නොරිකෝ සo වෙලා..




දෙවෙන්දොරා සo
නිදන්න ළඟ මට ඉඩ තියන් ඉන්න
මo දවසක එනවා
ඒ එනතුරු ඔබේ නමින් මo ජීවත් වෙනවා

ඔබත් සමග ගිය මග තොට
නැතිවුණාට ඔබ පෙර ලෙස
කෝපි අවන්හල් දුටුවම 
පිට පාරෙම එනවා

ඔබේ සුවඳ තැවරීගෙන 
බිම වැතිරෙන සීතල හිම
කබුකි නැටුම්හල් දුටුවම
දරන්න බැරි වෙනවා..
                           -රවි සිරිවර්ධන

ආපහු නොරිකෝ සo වෙච්චි මනමේ කුමාරිට තමන් මෙච්චර වෙලා කරපු කියපු කිසිම දෙයක් මතක තිබ්බෙ නෑ. එයා තමබොචි සොහොන් බිමේ දෙවෙන්දොරා සo ගෙ සුසානය ළඟ දණ ගහගෙන "මළවුන්ගේ අවුරුද්ද" එනකන් බලන් ඉන්නවා. ඔය අතරෙදි උඹලා අපි නිදන්න් තවත් සිද්ධියක් වෙලා.


අර රoග ශාලාවෙ හිටපු තරුණ ජෝඩුව මතකයි නේද? එතන ඉඳලා තියෙන්නෙ වැදි රජ්ජුරුවො අතින් මරණෙට පත් වෙච්ච මනමේ කුමාරයගෙ පුනරුප්පත්තිය. හැමදේම හරිම ඉක්මනට වෙලා කියල උඹලට හිතෙන්නෙ නැද්ද? ඒත් අර හමපු ටෝනේඩෝ එක හැමදෙයක් ම උඩුයටිකුරු කරලා නෙ. ටෝනේඩෝ එක අර කොල්ලව කලින් ආත්මෙට අරන් ගිහින්, මැරුණු මනමේ කුමාරයට පණ දීලා, ආයෙම මනමේ කුමාරයා, දෙවෙන්දොරා සo බවටත් පත් කරලා. එතකොට දෙවෙන්දොරා සo මැරිලා නෑ. මනමේ කුමාරයටත් පණ ඇවිත්. මයෙ අප්පේ ටෝනේඩෝ එකක් කරන හදියක්. 

දැන් එතකොට නොරිකෝ සo මැරිලා කියලා හිතන් ඉන්න දෙවෙන්දොරා සo මැරිලා නෑ. සියදිවි හානි කරගත්තු දෙවෙන්දොරා සoට ආයෙම පණ ඇවිත්. ඒ කියන්නෙ උත්ථානය වෙලා. දෙවෙන්දොරා සoටත් සිද්ධ වුණ කිසිම දෙයක් මතක් නෑ.ඒ කියන්නෙ මනමේ කුමාරි වුන, නොරිකෝ සo ගැන කිසිම වෛරයක් නෑ. නොරිකෝ සo ත් අවoක ප්‍රේමයක් වෙනුවෙන් මුළු ජීවිතේ ම කැප කරලා ඉන්නවා නෙ තමබොචි සොහොන් බිමේ. ඉතින් ඊට පස්සෙ වුණ දෙවලුත් මම කියන්න යන්නෙ නෑ. ඔය හැම ආදර කතාවෙම තියෙන්නෙ. :ඩී

"කෝපි හල් මග බලo ඇති
තබුකි රoගන තවම එහි ඇති
අපෙ ආදරේ සුදු
ලිලී මල් පිපිලා.. '
(දැන් නිදියන්න නොරිකො සo... :ඩී)


හහ් හහ් කතාව ඉවරයි. නෑ නෑ තව චුට්ටක් තියෙනවා. අර දෙපාරක් ම හමපු ටෝනේඩෝ එකට තවත් නමක් තියෙනවා. "කාලය" :ඩී උඹලා මනමේ බලලා ගෙදර ඇවිත් කවදාවත් හිතුව ද ඊට පස්සෙමනමේ කුමාරිට මොකද උනේ කියලා? ඈ වනයෙ ම0මුලා වෙලා සතෙක් සර්පයෙක් කාලා මැරිලා යන්න ඇති. නේද? එතකොට "මළවුන්ගේ අවුරුද්ද" කියවලා ඉවර වුණාට පස්සෙ නොරිකෝ ස0ට මොනවා වෙන්න ඇති ද කියල අමුතුවෙන් හිතන්න දෙයක් තිබ්බෙ නෑ නේද? ඈ මුළු ජීවිත කාලෙම දෙවෙන්දොරා ස0 ගෙ මතක එක්ක ඉන්න ඇතිය කියල නේ ඕන කෙනෙක් හිතන්නෙ. ඉතින් මේ කතාවෙත් එහෙමයි. අර කොල්ලට තුරුල් වෙලා හිටපු කෙල්ල, වැදි රජා දෙන්නත් සුදුසු පරිදි ජීවිතයට මූණ දෙන්න ඇති. 

ප:ලි:- සුදු චරිත හෝ කලු චරිත පවතින්නේ ආගමික කතා වල හා ඇතැම් සාහිත්‍ය කෘතීන්හි පමණකි. සැබෑ ජීවිතයේ දී අපට හමුවන්නේ කලු-සුදු චරිතයි. අවස්ථානුකූලව හා සාපේක්ෂව මිනිස් චර්යාවන් හා හැඟීම් ද විචලනය වන්නේ ම ය. "නොරිකෝ-මනමේ" චරිතය එය කියා පෑමට එක් උත්සාහයක් පමණි. මුල් සාහිත්‍ය නිර්මාණ වලට අගෞරවයක් කිරීමේ කිසිදු පරමාර්ථයක් නැත. මෙය හුදෙක් ම ෆැන්ටසි ලියවිල්ලක් පමණි.

 "සාහිත්‍ය වනාහි සත්‍යයත්, කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ."
                                                                               -චිකමත්සු නම් ජපන් නාට්‍ය කරුවා
























0 comments :

Categories