Tuesday, June 11, 2013

මරණය

"හිරු මඬල යට සිදු කැරෙන වැඩකටයුතු සියල්ල මම දැක ඇත්තෙමි; බලනු මැනව. ඒ සියලු දෑ නිශ්පලභාවය ද, ආත්මයේ පීඩාව ද වන්නේ ය."
                                                                                        දේශනාකාරයාගේ පොත
                                                                                         1-14(ශුද්ධ බයිබලය )

රාත්‍රිය තම පියාපත් නගරය මත විහිදවීය. හිම පතනය එයට ඇඳුමක් වූයේ ය. සීතල, තම තමන්ගේ නිවෙස් හි රැකවරණය ලබනු පිණිස මිනිසුන් වෙළඳපොළින් පලවා හැරියේ ය. මළවුන් වෙනුවෙන් වැළපෙමින් සොහොන්කොත් අතර සිටගෙන සිටින ශෝක වන්නෙකු සේ මාරුතය නිවෙස් අතර සුසුම්ලමින් නැගී ආවේ ය.


නගරයෙන් බැහැර සීමාවෙහි අබලන් බිත්ති සහිත පැරණි නිවෙසක් තිබිණ. ඒ මත හිම පතිත වී බර වූයෙන් එය බිඳ වැටීමට ආසන්න තත්වයකට පත් වූයේ ය. නිවෙසෙහි එක් මුල්ලක යහනක් විය. ඒ මත මරණාසන්න මිනිසෙක් වැතිර සිටියේ ය. ඔහු, පහනක දුබල එළිය, අඳුර හා සටන් කරන අයුරු පරීක්ෂාවෙන් බලා සිටියේ ය. ඔහු ජීවිතයේ වසන්ත සමයේ පසු වන යෞවනයෙකු විය. පැවැත්මේ බන්ධන වලින් තමා මිදෙන හෝරාව ළ0ව ඇතිබව ඔහු දැන සිටියේ ය. එලෙසම ඔහු මරණයේ පැමිණීම ද බලාපොරොත්තු වෙමින් සිටියේය. ඔහුගේ දෙතොල මත දුක්බර සිනාවක් ද, මුහුණෙහි සුදුමැලි අවයව මත බලාපොරොත්තුවක ආලෝකය ද පැතිර පැවතියේ ය.

තම සොඳුරු කියමන් වලින් මිනිස් හදවත් සතුටු කරවනු පිණිස පැමිණ සිටි ඔහු කවියෙක් විය. ධනවතුන්ගෙන් හා ජීවත් වන්නවුන්ගෙන් පිරී ගිය නගරයේ ඔහු සාගින්දරෙන් පෙළෙමින් මරණාසන්න වී සිටියේය. මිහිමත දිවිය මිහිරි කරනු පිණිස දෙවිවරුන්ගේ දයා කරුණාවේ මහිමයෙන් මෙලොවට බට උදාර ආත්මයක්, තමා හා සමඟ මනුෂ්‍ය වර්ගයා සිනාසීමට ද පෙර අප ගේ ලොවින් සමු ගනිමින් සිටියේ ය.

ඔහු තම අවසන් හුස්ම පොද හෙළමින් සිටියේ ය. පහන හැර අන් කිසිවෙක් ඔහු පසෙකින් නොවූහ. ඔහුගේ හුදකලාව තුල මිතුරා වශයෙන් සිටියේ ඒ පහනත්, ඔහුගේ කාරුණික ආත්මයේ රූප සටහන් කැරුණු කඩදාසි කැබලිත්ය.

හීන වෙමින් තිබුණු තම ශක්තියේ ශේෂ වූ ප්‍රමාණය එක් කැරගත් මරණාසන්න යෞවනයා අහස් ගැබ දෙසටැ තම දෑත් යොමු කළේ ය. තමාගෙන් සමුගෙන යන දෑසේ පෙනීම, ඒ ගරා වැටුණු නිවෙසෙහි වහළය විනිවිද වළාකුළු වලත ඔබ්බෙහි වූ තරු දැකගනු ඇතැයි සිතමින් ඔහු තම මලානික ඇසිපිය සැලුවේ ය. ඔහු මේසේ කීවේ ය.

"සොඳුරු වූ මරණය! දැන් මෙහි එනු මැනව. කුමක් හෙයින් ද යත්, මගේ ආත්මය ඔබ කෙරෙහි මහත් ආශාවෙන් පසු වන බැවිනි. ළoවී, මේ භෞතික විලoගු මුදා හරින්න. කුමක් හෙයින් ද යත්, ඒවා පොළොව මත ඇදගෙන යාමෙන් මා විඩාපත් ව සිටින බැවිනි. ඉමිහිරි මරණය, එසේ නම් පැමිණ මිනිසුන්ගෙන් මා මුදවාගන්න. ඔවුහු ඔවුනතර මා ආගන්තුකයෙකු ලෙස සලකති. කුමක් හෙයින් ද යත්, මා මනුෂ්‍ය වර්ගයාගේ භාශාවෙන්  සුරදූතයන්ගේ භාෂාව කතා කළ බැවිනි. ඉක්මන් කරනු මැනව. ඔවුන් මා පිළිකෙව් කොට, අමතක බවේ කෙළවරකට මා විසි කළ බැවිනි. කුමක් හෙයින් ද යත්, ඔවුන් මෙන් මා වස්තු තණ්හාවෙන් නොපෙළුනු බැවිනි. මට වඩා දුර්වල තැනැත්තෙකුගෙන් මා ලාභ නොලැබූ බැවිනි. ආදරයෙන් පිරි ඔබේ ළයට මා තුරුළු කරගනු මැනව. මගේ දොතොල සිපගනු මැනව. ඒ දෙතොල මවකගේ චුම්බනය රස නොවින්දේ ය; සොහොවුරියකගේ කොපුල් තල ස්පර්ශ නොකළේ ය. ප්‍රේමවන්තියකගේ මුව මඬලෙහි පහස් එයට දැනී නැත. මරණය, මා ප්‍රියාදරිය! ඉක්මණින් මා වැළඳගනු මැනව."

එවිට අලෞකික සුන්දරත්වයකින් හෙබි කාන්තාවකගේ රුවක් ඒ අවසන් හුස්ම හෙළමින් සිටි තරුණයාගේ යහන පසෙකින් සිටගෙන් හුන්නේ ය. හිම මෙන් සුදු පැහැති ඇඳුමකින් ඇගේ ගත සැරසී තිබිණ. දිව්‍යමය මිටියාවත් වලින් නෙළාගත් ලිලී මලින් තැනූ ඔටුන්නක් ඇගේ අතෙහි විය.

ඈ ඔහුට ළoවි ඔහු වැළඳගත්තා ය. ඔහු තම ආත්මයේ දෑසින් තමා දෙස බලති යි සිතූ ඈ ඔහුගේ දෙනෙත වැසුවා ය. ඈ ප්‍රේමයේ චුම්බනයකින් ඔහුගේ දෙතොල සිපගත්තා ය. එයින්  ඔහුගේ දෙතොල මත පරමාර්ථසාධනයේ සිනාවක් ඉතිරි කරවී ය. ඒ මොහොතෙහි ඒ කුඩා නිවෙස, පස් ද, අඳුරු මුලුවල විසිර ගිය කඩදාසි කැබලි ද හැර අන් කිසිවක් නොමැති ස්ථානයක් බවට පත්වූයේ ය.

දිගු කාලයක් ගතව ගියේ ය. ඒ නගරයෙහි ජනයා අවිද්‍යාවෙහි හා අඥානකමෙහි මුර්ච්ජාව තුළ රැඳී කල් ගෙවූ හ. ඒ මුර්ච්ජාවෙන් පිබිද සිටි කල්හි ඔවුහු දැනුමේ උදාව දැකගථ. ඔවුහු නගර මධ්‍යයෙහි කවියාගේ විසල් පිළිමයක් ඉදි කළ හ; වසරක් පාසා නියමිත කාලයකදී ඔහුට ගෞරව කරනු පිණිස උත්සවයක් පැවැත්වූ හ.

මනුෂ්‍යයෝ කෙතරම් මෝඩයෝ ද!

                                                                                                      උපුටා ගැනීමකි.

0 comments :

Categories