Thursday, December 18, 2014

"අමතක වීම"





මීට අවුරුදු පන්දාහකට විතර කලින් දැන් ඉන්දියාවයි, පකිස්තානෙයි අතර ප්‍රදේශයේ ලෝකෙ පැරණිම ශිෂ්ටාචාර වලින් එකකට අයිති මිනිස්සු ජීවත් වුනා. මේ මිනිස්සුන්ගේ ජීවිතේ ප්‍රධාන ම, ඒ වගේ ම වටිණාම දේ වුනේ වතුර. ගම්, නගර බිහිවුනේ ගoගා අයිනේ. වැස්ස කාලෙට ගoගාව පිරිලා පිටාර ගලන ජලය එකතු කරගන්න වාරිමාර්ග හදන තාක්ෂණය තමයි මේ මිනිස්සු ළඟ තිබ්බ වටිණාම දේ. බොහොම කටුක පරිසරේක වුණත් නගර, උද්‍යාන හදාගෙන මේ මිනිස්සු ජීවත් වුනා. මෙයාලා ජනාවාස ඇති කරගත්තේ "හගා හක්‍රා" ගඟ අයිනේ. "රිග් වේදයේ" මේ ගඟට හඳුන්වලා තියෙන්නේ "සරස්වතී" කියලා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරෙටම අයිති වෙච්චි "හගා හක්‍රා" ගඟ අයිනේ තිබුණ "දොලවිරා" කියලා නගරෙක නටබුන් අදටත් ඉතිරි වෙලා තියෙනවා. ගඟ දිගට තිබ්බ නගර වල මූලික සැලසුම මොන වගේ ද කියලා අපිට "දොලවීරා" වලින් ඉගෙන ගන්න පුලුවන්. නගරය වටේටම තිබිලා තියෙන්නෙ ගoගාවේ පිටාර ජලය එකතු කරගන්න හදපු තටාක. මේ වතුර අවුරුද්ද පුරාම තියාගන්නත්, ඒ වතුරෙන් හැමදේම කරගන්නත් ඒ මිනිස්සුන්ට පුලුවන් වෙලා තියෙනවා. කලිනුත් කිව්වා නේ. මේ මිනිස්සුන්ගේ ජීවිතේ වැදගත් ම දේ තමයි වතුර. ඒ නිසා ම එයාලගේ දෙවියනුත් "වතුර" ම තමයි. වැස්ස ලැබුනේ නැත්නම්, ගඟේ වතුර නැත්නම් එයාලගේ පැවැත්මත් එතනින් ඉවරයි. නගරෙ මැද, තරමක් උස බිමක තමයි එයාලගෙ දේවස්ථානය තිබ්බෙ. දේවස්ථානෙ මැද ළිඳක් තියෙනවා. (අදටත් මේ ළිඳ තියෙනවා) පොළොව මතුපිටින් ගලන ගඟේ වතුර වලට වඩා මේ ළිඳේ වතුර බොහොම බලවත් කියලා තමයි මිනිස්සු විශ්වාස කරේ. පොළොව කියන්නෙත් බොහොම පූජනීය දෙයක්. ඒ නිසා පොළොව යටින් මතු වෙන වතුර බොහොම පූජනීයයි. ඒක නිසා තමන්ගේ ආත්මය ඒ වතුරෙන් පිරිසිදු කරගන්න පුලුවන් කියලා මිනිස්සු විශ්වාස කරා.



ඒත් සරස්වතී ගඟ හැමදාමත් එකම විදියට ගැලුවේ නෑ. මීට අවුරුදු තුන්දාහකට විතර කලින් ඇති වුන විශාල භූමිකම්පාවක් නිසා සරස්වතී ගඟේ මාර්ගය වෙනස් වෙලා ඒ ජල ප්‍රවාහය "ගoගා නිම්නය" දිහාවට, ඒ කියන්නෙ නැගෙනහිරට හැරුනා. සරස්වතී ගඟෙන් සාරවත් වෙච්ච නිම්නය ශුෂ්ක කාන්තාරයක් වෙන්න ගත්තා. අද "ථාර් කාන්තාරය" කියන්නෙ ඒ "සරස්වතී නිම්නය"ට තමයි. මෝසම් කාලෙට විතරක් වැහි වතුර ටිකක් පරණ මහා ගoගාව දිගේ ගලාගෙන ගියා. මහා විශාලෙට තිබිච්ච ශිෂ්ටාචාරෙ වැළලිලා ගියා. නගර නටබුන් වුනා. ඒත් මහා ගoගාවයි, ගoගාව දෙපැත්තෙ ජීවත් වෙච්ච මිනිස්සුයි ලෝකට කවදාවත් අමත වුනේ නෑ. ඒ මිනිස්සුන්ගේ ආත්මීය බැඳීම තිබ්බෙ වතුරත් එක්ක. තාක්ෂණය, ආගම්, ඇදහිලි හැම එකක් ම බද්ධ වෙලා තිබ්බෙ ඒ වටේට. අද තමන්ගෙ පව් සෝදා ගන්න, ආත්මය පිරිසිදු කරගන්න ගoගානම් ගඟේ නාන ඉන්දියානුවෙක් අපිට කියන්නෙ අවුරුදු පන්දාහකට කලින් ජීවත් වෙච්ච අර මිනිස්සුන්ගේ කතාව නෙවෙයි ද? එතකොට ඒ මිනිස්සුන්ගෙ මතකයය් අමතක කරන්න මහා ලොකු භූමිකම්පාවකටයි, අවුරුදු පන්දාහකටයිත් බැරි වෙලා නේ.



පැරණි ඊජීප්තු ඇදහිලි වලට අනුව පොළොවට අධිපති දෙවියා (ගෙබ්) සහ අහසට අධිපති දෙවඟන (නුට්)ගෙ එක දුවෙක් තමයි "ඉසිස්". ඈ තමයි විවාහය, මාතෘත්වය, සහ දැනුමට අධිපති දෙවඟන. . ඈ විවාහ වුනේ ඇගේම සහෝදරයා වෙච්ච "ඔසිරිස්" එක්ක. "සෙත්" විසින් "ඔසිරිස්" ව මැරුවාට පස්සේ "ඉසිස්" ඇගේ ආදරයේ හා මායා බලයෙන් "ඔසිරිස්"ට ආපහු පණ දුන්නා. හැම අවුරුද්දකම නයිල් ගඟ පිටාර ගලන්නේ ඔසිරිස් වෙනුවෙන් අඬන ඉසිස්ගෙ කඳුලු නිසා කියලා තමයි ඊජීප්තු මිනිස්සු විශ්වාස කළේ. ඉසිස්ගෙ පුතා "හොරස්". රාජ්‍යත්වයට අධිපති දෙවියා. "ඉසිස්" ඊජීප්තුවේ ඉපදුනාට එහෙට විතරක් සීමා වෙච්ච ඇදහිල්ලක් නෙවෙයි. ඊජීප්තුවෙන් පටන් අරගෙන පර්සියාව, ග්‍රීසිය, රෝමය වෙනකන් ම "ඉසිස්" ඇදහිල්ල පැතිරුනා. ඒ ඒ රටවල්, සoස්කෘති ඒ ඒ විදියට ඉසිස් ව එයාලගේ කරගත්තා. අවුරුදු තුන්දාස් පන්සීයක් තිස්සේ ඊජීප්තුවේ, ග්‍රීසියේ රෝමයේ වහලුන්, පව්කාරයන් කියල සම්මත වෙච්ච මිනිස්සු, කෙලින් ම කියනවා නම් දුක් විඳින මිනිස්සු පහන් පත්තු කරලා තමන්ගේ දුක කිව්වේ "ඉසිස්" දෙවඟනට. "ඉසිස්", "හොරස්" ව වඩාගෙන කිරි පොවන ප්‍රතිමා චිත්‍ර සිය ගණනක් ඊජීප්තුවේ, රෝමයේ, නාපෝලියේ, පැරීසියේ, ලන්ඩනයේ ජාතික කෞතුකාගාර වල අදටත් දකින්න පුලුවන්.



"හොරස්" ඉසිස් වෙනුවෙන් ඉදිවෙච්ච දේවස්ථාන අතීත "ග්‍රීක-රෝමානු" ලෝකය පුරාම අදටත් දකින්න පුලුවන්. ඉසිස් වෙනුවෙන් වෙන් වෙච්ච සoකේත සහිත ලේඛනත් සිය ගාණක් අද වෙනකොට ලැබිලා තියෙනවා. අවුරුදු තුන්දහකට වඩා වැඩි කාලයක් හැම කෙනෙක්ගෙම දුක අහගෙන හිටපු, හැම කෙනෙක්ටම අම්මා කෙනෙක් වුණ ඉසිස් දෙවඟනට හැමදාම එක ම විදියට ඉන්න පුලුවන් වුනේ නෑ. බටහිර ලෝකයේ ක්‍රිස්තියානි ආගම පැතිරීමත් එක්ක "පැගන් ඇදහිලි" යටපත් කිරීම සිද්ධ වුනා. ඒ අතරේ ඉසිස් දෙවඟනටත් යටපත් වෙන්න සිද්ධ වුනා. ඒත් හොරස් ව වඩාගෙන කිරි පොවන ඉසිස් දෙවඟනගෙ රූපෙ මිනිස්සුන්ගෙ හිත් වලින් ඈත් කරන එක එච්චර ම ලේසි වුනේ නෑ. ඒ නිසාම ක්‍රිස්තියානි ලෝකෙට "ජීසස්" වඩාගෙන ඉන්න "වර්ජින් මේරි" ආදේශ වුනා. මාතෲත්වය, දාරක සෙනහස වගේ "ඉසිස්" ඇදහිල්ලෙ තිබුනු ඔක්කොම මූලික හරයන් ක්‍රිස්තියානි "වර්ජින් මේරි"ට ආදේශ වුනා. අද වෙනකොට පැගන් ඇදහිලි වලපල්ලට ගිහින් අවුරුදු එක්දාස් පන්සීයකට වැඩියි. ඒත් "ඉසිස්" දෙවඟ ලෝකෙට අමතක වෙලාද? නෑ. ලෝකෙ හැමතැනම තියෙන "වර්ජින් මේරි" ප්‍රතිමා ඇතුලෙ ඉන්නේ ඉසිස් දෙවඟන කියලයි මම හිතන්නේ.



"කුෆු ෆේරෝ" ගීසා වල මළවුන්ගේ නිම්නයේ ලෝකෙ ලොකු ම ගල් වලින් හදපු ඉදිකිරීම, "මහා පිරමීඩය" හැදුවා. ලක්ෂ ගාණක් මිනිස්සු ඒ වෙනුවෙන් දවල් රෑ නැතුව වැඩ කරලා මැරිලා ගියා. ඒත් අදත් ලෝකෙ ඉස්කෝලෙ යන හැම ළමයෙක් ම මහා පිරමීඩ ගැන ඉගෙන ගන්නවා. පිරමීඩ ගැන කතාව කියවෙන හැම වාරෙකම ඒවා හදන්න මහන්සි වෙච්ච මිනිස්සුන් ගැන මතකය අලුත් වෙනවා. ලෝකෙ කියවෙන හැම කතාවකම, මිනිස්සු දකින හැම හීනෙක ම කවුරු හරි කෙනෙක්, මොකක් හරි සිද්දියක් ගැන මතකයක් අලුත් වෙනවා. මේ ලොකෙ ඇතුලෙ අමතක වෙච්ච කිසිම දෙයක්, කිසිම කෙනෙක් හරි කිසිම සිද්ධියක් නෑ. ඔයාගෙ ජීවිතේ අමතක කරපු කෙනෙක් හරි, අමතක කරපු සිද්දියක් හරි තියෙනවා ද ඇත්තටම? පොඩ්ඩක් හිතලා බලන්න. ඇත්තටම ඒක අමතක වෙලා ද ඔයාට? නෑ නේද? ඒක ආයෙ මතක් වුනා නේ ද?

ඊයේ මo ආදරේ කරන කෙල්ලගෙන් මට ඇමතුමක් ලැබුනා.

"කරුණාකරලා මාව අමතක කරන්න."

-- "අමතක කරන්නම්, ඒත් අමතක වෙයි ද දන්නෙ නෑ."

(ඒකයි මේක ලිව්වේ.)



0 comments :

Categories